ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා අතර පැවති විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වීමට පාකිස්ථාන රජය තීරණය කර ඇත.
බහුපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵල සහ මිත්‍රශීලී රටවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සිය ජාතික කණ්ඩායමට මෙම තරගය සඳහා සහභාගී වන ලෙස පාකිස්ථාන රජය නිල වශයෙන් උපදෙස් දී තිබේ.
දෙරටේ නායකයන් අතර පැවති දුරකථන සංවාදයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දුන් අසීරු අවධියේදී පාකිස්ථානය සැමවිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අත්නොහළ බවයි. එම සබඳතාව අගය කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹී ඇත.
මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත කරන ලද විශේෂ ඉල්ලීම්ද පාකිස්ථාන රජයේ අවධානයට යොමුව තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සහ තරගාවලියට සහභාගී වන සියලුම රටවල අඛණ්ඩ සහභාගීත්වය තහවුරු කිරීම රජයේ අභිලාෂය බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙහිදී අදහස් දැක්වූ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මෑතකදී පාකිස්ථානයේ පැවති සංචාරයන් අවලංගු නොකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ සහයෝගය පාකිස්ථාන වැසියන් කෘතවේදීව සිහිපත් කරන බවයි. දෙරට අතර පවතින මෙම නොබිඳුණු ක්‍රීඩා සබඳතාවය ඉදිරියටත් පවත්වාගෙන යාම වැදගත් බව නායකයන් දෙපළම අවධාරණය කළහ.
මෙම තීරණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ වඩාත් උද්යෝගිමත් තරගය ලෙස සැලකෙන ඉන්දු - පාකිස්ථාන ගැටුම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සහතික වී තිබේ.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) අතර පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත්, ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වඩාත් සුබවාදීව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණි බවත් ICC නිවේදනය කරයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අවංකභාවයෙන්, අපක්ෂපාතීව සහ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කර ඇත. එමෙන්ම, ICC තරඟාවලි සඳහා සහභාගී වීමේ නියමයන්ට අනුව සියලු සාමාජික රටවල් තම කැපවීම් ඉටුකිරීමටත්, දැනට පැවැත්වෙන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය සාර්ථක කර ගැනීමට උපරිම දායකත්වය ලබා දීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.
මෙවර ලෝක කුසලාන තරඟාවලියට බංග්ලාදේශ කණ්ඩායම සහභාගී නොවීම සම්බන්ධයෙන්ද ICC සිය ස්ථාවරය පැහැදිලි කළේය. මිලියන 200කට අධික උද්‍යෝගිමත් ප්‍රේක්ෂක පිරිසක් සිටින බංග්ලාදේශය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ICC සහාය ලබා දෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
පවතින තත්ත්වයන් මත මෙවර තරඟාවලියට සහභාගී නොවීම හේතුවෙන් බංග්ලාදේශයට කිසිදු දඬුවම් මුදලක් හෝ දඩයක් පැනවීමට ICC කටයුතු නොකරන අතර, 2031 ලෝක කුසලාන තරඟාවලියට පෙර ICC ඉසව්වක් සත්කාරකත්වය දැරීමට බංග්ලාදේශයට අවස්ථාව ලබා දීමටද තීරණය කර ඇත.
පකිස්ථාන රජය විසින් පනවන ලද සීමා කිරීම් මධ්‍යයේ වුවද, පකිස්ථාන කණ්ඩායම සිය පළමු තරඟයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට සමත් විය. ඔවුන් සිය දෙවන තරඟය පෙබරවාරි 10 වනදා (අද) කොළඹදී ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය. මෙය ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දියා - පකිස්ථාන තීරණාත්මක තරඟයට පෙර කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.
මෙම විශේෂ තීරණ පිළිබඳ දැනුම් දීම සිදු කෙරුණේ පසුගිය සඳුදා ICC, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

හොඳ ආරක්ෂාවක් දෙන්න වෙයි. පොඩි හනුමා සත පහකට විශ්වාස නෑ.
ReplyDeleteඔව්. මතකනේ පාස්කුව. ඕකල මේ රට කෑව.
DeleteUda pana oana avith aurudu ganak thisse rata gini thiyapu pacha kota tharam hanumek innavda. munath e vagemai
Delete