පෙබරවාරි පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් බිලියන 09ක විදෙස් ආයෝජන ඉවත් කර ගනී


2026
වසරේ පෙබරවාරි මාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙහි විදේශ ආයෝජන පිටතට ගලායෑමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ඇම්බියොන් සිකියුරිටීස් සමාගම සිය නවතම වෙළෙඳපොළ වාර්තාව මගින් පෙන්වා දෙයි.

ඇම්බියොන් සිකියුරිටීස් ආයතනයට අනුව පෙබරවාරි මාසය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 9,358.49 ක විදේශ ආයෝජන ප්‍රමාණයක් පිටතට ගලා ගොස් ඇත. විශේෂිත කරුණක් වන්නේ එම මාසයේ ගනුදෙනු සිදු වූ දින අතුරින් දින දෙකක් හැර අනෙකුත් සියලුම දිනවලදී විදේශ ආයෝජන මෙලෙස ඉවත් කරගෙන තිබීමයි.

මේ අනුව, 2026 වසරේ මුල් මාස දෙක (ජනවාරි සිට පෙබරවාරි අවසානය දක්වා) තුළ සමුච්චිතව සිදු වී ඇති විදේශ ආයෝජන පිටතට ගලායෑමේ වටිනාකම රුපියල් මිලියන 16,145.75ක් ලෙස සටහන් වේ.

විදේශ ආයෝජන ඉවත් කර ගැනීම් මධ්‍යයේ වුවද, පෙබරවාරි මාසයේදී වෙළෙඳපොළ ප්‍රධාන දර්ශකයන්හි සුළු වර්ධනයක් නිරීක්ෂණය විය.

සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 0.22 ක ඉහළ යාමක් වාර්තා කළේය. S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 0.59 ක ඉහළ යාමක් පෙන්නුම් කළේය.

මෙම දර්ශකයන්හි ඉහළ යාමට පෙබරවාරි මාසය තුළ සිදු වූ ධනාත්මක ආර්ථික සිදුවීම් හේතු වූ බව වාර්තාවේ සඳහන් වේ. මාසය තුළ ලැයිස්තුගත සමාගම් අංශ 7 ක මිල ගණන් ඉහළ ගිය අතර, අංශ 13 ක මිල ගණන් පහළ යාමක් වාර්තා විය.

පෙබරවාරි මාසයේ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,616 ක් ලෙස සටහන්ව තිබේ. මෙය ජනවාරි මාසයේ වාර්තා වූ රුපියල් මිලියන 7,095 ක පිරිවැටුම හා සැසඳීමේදී සියයට 21 ක පසුබෑමකි. කෙසේ වුවද, 2026 වසරේ මේ දක්වා වාර්තා වන දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 6,356 ක් බව ඇම්බියොන් සිකියුරිටීස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

1 Comments

  1. විජිත සර්ගෙ ඉන්ග්‍රීසි හැකියාව දැකල වෙන්ඩ ඇති.

    ReplyDelete
Previous Post Next Post