හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය සපයන සිංගිමලේ ජලාශයේ සිට ක්‍රියාත්මක කෙරෙන නව නල මාර්ග ව්‍යාපෘතියක කොන්ත්‍රාත් සමාගමකට අයත් ලොරි රථයක් ගමන් කිරීමේදී දරවල වත්ත ඉහළ කොටසේ ප්‍රධාන පාලම කඩා වැටී දින 9ක් ගත වී ඇතත්, මෙතෙක් එය පිළිසකර නොකිරීමට එරෙහිව වතු කම්කරුවන් විරෝධතාවයක සහ වැඩවර්ජනයක නිරත වූහ.
මෙම මස 07 වන දින උදෑසන, සිංගිමලේ ජලාශයේ සිට ජලය රැගෙන යාම සඳහා ජල සම්පාදන ඒකකය මගින් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකට පවරා ඇති ව්‍යාපෘතියකට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගමන් කිරීමේදී මෙම අනතුර සිදු විය.
පාලම කඩා වැටුණු සැණින් එය ප්‍රතිසංස්කරණය කර දෙන බවට අදාළ පෞද්ගලික ආයතනය පොරොන්දු වී ලොරි රථය ඉවතට ගෙන තිබුණද, ඉන් පසුව කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කර නොමැති බවට ජනතාව චෝදනා කරති.
පාලම කඩා වැටීම හේතුවෙන් දරවල වත්ත ඉහළ කොටසේ පදිංචි පවුල් විශාල සංඛ්‍යාවක් මේ වන විට කොටු වී සිටිති.
විශේෂයෙන්ම පාසල් දරුවන්ට සහ රෝගීන්ට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර, අවමංගල්‍ය කටයුත්තක් පවා සිදු කර ගැනීමට නොහැකි තරමට ප්‍රවාහන සේවා ඇනහිට තිබේ.
විකල්ප මාර්ගයක් තිබුණද ඒ සඳහා ත්‍රිරෝද රථ ගාස්තු ලෙස රුපියල් 3,000කට අධික මුදලක් ගෙවීමට සිදුවීම වතු ජනතාවට දැරිය නොහැකි බරක් වී ඇත.
මෙම ගැටලුව සම්බන්ධයෙන් වතු අධිකාරිය හෝ ජල සම්පාදන ඒකකය මෙතෙක් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති බව විරෝධතාකරුවෝ පවසති.
මේ හේතුවෙන් අද දින දරවල වත්ත ඉහළ කොටසේ කම්කරුවන් සියලු දෙනා වැඩවර්ජනයක නිරත වෙමින් පාලම අසලට රැස් වී බලධාරීන්ට සිය විරෝධය පළ කළහ.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පාලම ස්ථිර ලෙස ඉදිකර දීමට බලධාරීන් පියවර නොගතහොත් සිය විරෝධතාවය තවදුරටත් දැඩි කරන බව වතු ජනතාව වැඩිදුරටත් අවධාරණය කර සිටිති.
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

පුxරුදයක්, විනාශයට යන රටක්
ReplyDelete