විදෙස් හමුදා කටයුතුවලට ලංකාවේ වරායන් භාවිත කිරීමට ඉල්ලීම්...

 


මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ, ඇතැම් විදේශීය රටවල් සිය හමුදාමය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවේ වරායන් භාවිත කිරීමට අවසර ඉල්ලා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැදපෙරදිග යුද්ධයේ බලපෑම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, මෙවැනි තත්ත්වයක් තුළ රජය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය පිළිබඳව වහාම ජාතිය දැනුවත් කළ යුතු බවයි.

යේමනයේ හූති කැරලිකරුවන් විසින් ඒඩන් බොක්ක සහ රතු මුහුද යා කරන ප්‍රධාන මුහුදු මාර්ගයක් වන 'බාබ් අල්-මන්දාබ්'  සමුද්‍ර සන්ධිය වසා දැමීමට එල්ල කර ඇති තර්ජනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

වාර්ෂිකව නෞකා 25,000කට අධික සංඛ්‍යාවක් ගමන් ගන්නා මෙම සන්ධිය අවහිර වීමෙන් නෞකා විකල්ප මාර්ග කරා යොමු විය හැකි අතර, එය ශ්‍රී ලංකාවේ වරාය මෙහෙයුම්වලට සෘජුවම බලපානු ඇත.

පවතින අර්බුදය හමුවේ ඉන්දියන් සාගර කලාපය යුදකරණය වීමේ අවදානමක් පවතින බවත්, විදේශීය රටවල් ලංකාවේ වරායන් යුද කටයුතු සඳහා යොදා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව රජය ස්ථාවරය පැහැදිලි කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව අනතුරු අඟවමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ආනයන වියදම් ඉහළ යාම සහ අපනයන ලාභාංශ පහත වැටීම මින් සිදුවිය හැකි බවයි.

"යුද අවදානම් වාරික ඉහළ යාම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස්, රට තුළ පිරිවැය මත පදනම් වූ උද්ධමනයක් නිර්මාණය විය හැකියි"

මෙම තීරණාත්මක ගෝලීය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දීමට සූදානම් වන ආකාරය පිළිබඳව රජය පාර්ලිමේන්තුවට සහ රටට වහාම ප්‍රකාශයක් කළ යුතු බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

2 Comments

  1. බටහිර අවශ්‍යතා වෙනුවෙන් අපේ පහසුකම් ලබා දීමේ වරදක් නැත ලොව ප්‍රජාතන්ත්‍රවාද ය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ බටහිර රටවල් පමනී

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. යුගෝස්ලාවියාව, වියට්නාමය, ඉරාකය, ලිබියාව, සිරියාව, පලස්තීනය, දකුණු ඇමරිකාවේ රාජ්‍යයන්, දකුණු ආසියාවේ රාජ්‍යයන්, ඇතුළු මුළු මහත් ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදයේ සොමිය අත්විඳීමට ඉඩදුන්නේ බටහිර රටවල් පමණි

      Delete
Previous Post Next Post