රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන සංකීර්ණ නීතිමය බාධක ඉවත් කර ජනතාවට කඩිනම් සහන සැලසීම රජයේ ප්‍රමුඛතාවය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ පවතින අතිශය සංකීර්ණ ඉඩම් ගැටලු නිරාකරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන පරිපාලනමය ගැටලුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් විශේෂ "නීති සායන" (Law Clinic) වැඩ සටහනේ දෙවන දිනය මහනුවර, ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේදී පැවැති අතර එම අවස්ථාවට එක් වෙමින් රාජ්‍ය පරිපාලනඅමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කළේ ය.
අතීතයේ සිට පැවත එන බණ්ඩාරගම්, හේවාගම් සහ ප්‍රවේණි වැනි සංකීර්ණ ඉඩම් පද්ධතීන් මෙන් ම 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් පසු ඇති වූ මුඩුබිම් පනත් හේතුවෙන් පාරම්පරික ඉඩම් අයිතිය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇති බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
වර්තමානය වන විට අධිකරණ පද්ධතියේ පවතින ඉඩම් නඩු වසර 40-50ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යන අතර, බොහෝ විට මුල් පාර්ශවකරුවන් පවා දැන් ජීවතුන් අතර නොමැති බව ඔහු සඳහන් කළේ ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පවතින සියලු නීති රීති නැවත සමාලෝචනය කර අලුතින් හඳුන්වා දීම සඳහා වූ කැබිනට් තීරණයකට අනුව විශේෂ කමිටුවක් මේ වන විට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා අනාවරණය කළේ ය.
2025 නොවැම්බර් මාසයේ ඇති වූ දරුණු ආපදා තත්ත්වය පසුගිය පරම්පරා තුනක කාලය තුළ අත්නොවිඳි අතිශය දරුණු එකක් බව අමාත්‍යවරයා සිහිපත් කළේ ය. එහිදී තම පෞද්ගලික පහසුකම් පවා නොතකා දින ගණනාවක් කැපවීමෙන් සේවය කළ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරී ප්‍රජාවටම අමාත්‍යවරයා සිය ගෞරවය පුද කළේ ය.
විපතට පත් ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා අර්ධ හානි වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බවත්, එය තනිකරම මානුෂීය පදනමක් මත ගත් තීරණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
වර්තමාන රාජ්‍ය සේවය මානව හිමිකම්, විගණන විමර්ශන සහ ජාත්‍යන්තර අණපනත් නිසා අතීතයට වඩා බෙහෙවින් සංකීර්ණ වී ඇති බව පෙන්වා දුන් මහාචාර්ය චන්දන අබයරත්න මහතා, පවතින නීතිමය හා චක්‍රලේඛ ගැටලු නිසා රාජ්‍ය නිලධාරීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව සඳහන් කළේ ය.
2026 වර්ෂය අභියෝගාත්මක වුව ද, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව සාමූහිකව වගකීම් ඉටු කළහොත් දුෂ්කරතාවලින් තොර අනාගත ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකි බවට ඔහු විශ්වාසය පළ කළේ ය.
මෙම වැඩසටහන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂිණී දිසානායක මහත්මිය ඇතුළු කණ්ඩායමේ මෙහෙයවීමෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ප්‍රතිපාදන මත සංවිධානය කර තිබුණු අතර එය දිට්වා සුළි කුණාටුවෙන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වන ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලු විසඳීම අරමුණු කරගෙන පැවැත්විණි.
මෙහිදී "දිට්වා" ආපදා කළමනාකරණට අදාළව රාජ්‍ය ආයතන විසින් නිකුත් කළ මාර්ගෝපදේශ ඇතුළත් ග්‍රන්ථය එළිදැක්වීම ද සිදුවිය.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ගැටලු විසඳීම සඳහා නෛතික උපදෙස් ලබා දීමේ ව්‍යපෘතිය (Law Clinic) යටතේ ක්‍රියාවට නැගෙන මෙම වැඩසටහන ඉදිරියේ අනෙකුත් දිස්ත්‍රික්වල ද ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.හේරත්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් ඔමාලි විමලරත්න, ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.ඒ.ආර්. රේණුකා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ රවීන්ද්‍ර පතිරණගේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අධිනීතිඥ ඉෂාන් රත්නපාල යන මහත්ම මහත්මීන් ඇතුළු මහනුවර, කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටිය හ.
