වෛද්‍ය හිඟය උග්‍ර වෙයි: දොස්තරලා පැය හයක් පමණයි.. නිවාඩු දිනවල වහයි..


දිනපතා රෝගීන් දෙසීයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබන කිරින්ද ප්‍රාදේශීය රෝහල වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟය හේතුවෙන් වැසීයාමේ දැඩි අවදානමක් පවතින බව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් සමරසිංහ මහතා අනාවරණය කරයි.

ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ කිරින්ද - පුහුල්වැල්ල, හක්මන, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් විශාල ග්‍රාමීය ජනතාවක් සායනික සහ දෛනික ප්‍රතිකාර සඳහා මෙම රෝහල මත යැපෙන බවයි.

රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද පැවසීය:

"රෝහලේ සේවය කළ යුතු වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් අයෙකු දැනටමත් විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටිනවා. තවත් වෛද්‍යවරයෙකු වැඩිදුර පුහුණුව සඳහා පිටත්ව යාමට නියමිතයි. මේ හේතුවෙන් ඉදිරියේදී රෝහල් සේවාවන් පවත්වාගෙන යාමට ඉතිරි වන්නේ එක් වෛද්‍යවරයෙකු පමණයි. රෝගීන් විශාල පිරිසක් පැමිණෙන මෙවැනි රෝහලක් එක් වෛද්‍යවරයෙකු යටතේ පවත්වාගෙන යාම ප්‍රායෝගිකව කළ නොහැක්කක්."

පවතින මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් ද දැනුවත් කර ඇති බවත්, රෝහලේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කඩිනමින් වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි



1 Comments

  1. සෞඛ්‍ය ඇමැති මේ දවස්වල ගල් අඟුරු hodanawa.

    ReplyDelete
Previous Post Next Post