සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මධ්‍යම බුද්ධි අංශ (CIA) මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් පසුගිය සඳුදා එල්ල වූ බව සැක කෙරෙන ඩ්‍රෝන ප්‍රහාරයකින් එම මධ්‍යස්ථානයට හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය ඉරානය විසින් දියත් කරන ලද්දක් බවට සැක පවතින නමුත්, අදාළ බුද්ධි මධ්‍යස්ථානයම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූ බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි ලැබී නොමැති බව විදෙස් පුවත් සේවා පවසයි.
සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ඩ්‍රෝන යානා දෙකක් මගින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම පරිශ්‍රය තුළ සුළු ගින්නක් හටගෙන ඇති අතර දේපළවලට යම් මට්ටමක හානි සිදුව ඇත. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම මධ්‍යම බුද්ධි අංශය (CIA) ප්‍රතික්ෂේප කර තිබේ.
ප්‍රහාරයෙන් පසු වොෂින්ටන් බලධාරීන් සෞදි අරාබියේ සිටින සියලුම ඇමරිකානු වැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, නැවත දැනුම් දෙන තුරු තානාපති කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත. මීට අමතරව, ධහ්රාන් ප්‍රදේශයට ද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බවට ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ.
පවතින ආරක්ෂක තත්ත්වය සලකා බැලීමෙන් පසු අඟහරුවාදා දිනයේ සිට ඇමරිකානු පුරවැසියන් සඳහා ක්‍රියාත්මක වූ සාමාන්‍ය සහ හදිසි සේවා කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
පසුගිය සෙනසුරාදා ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු මැදපෙරදිග කලාපය පුරා උණුසුම් තත්ත්වයක් වර්ධනය වී තිබේ.
