ගාස්තු වැඩි කලත් විදුලියේ අලාභය බිලියන 38ක්..


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවට අනුව, පසුගිය වසරේ විදුලි ගාස්තු සංශෝධනය කළද ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 38.7ක අලාභයක් ලබා ඇත. 

2024 වසරේ අවස්ථා කිහිපයකදීම ගාස්තු අඩු කිරීමෙන් අනතුරුව 2025 ජනවාරි මාසයේදී ද විදුලි ගාස්තු තවදුරටත් 20%ක සාමාන්‍ය අගයකින් අඩු කිරීමට පියවර ගෙන තිබුණි. 

කෙසේ වෙතත්, මෙම ගාස්තු අඩු කිරීම් සහ වසරේ පළමු කාර්තුවේ පැවති වියළි කාලගුණය හේතුවෙන් තාප විදුලි උත්පාදන පිරිවැය ඉහළ යෑම විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරීත්වයට සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබේ.

මෙම මූල්‍ය අලාභය පියවා ගැනීමේ අරමුණින් 2025 ජූනි මාසයේදී විදුලි ගාස්තු 15%කින් ඉහළ දැමීමට මණ්ඩලය කටයුතු කළද, එම පියවර අලාභ පියවා ගැනීමට ප්‍රමාණවත් වී නොමැති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. 

මේ හේතුවෙන් 2024 වසර අවසානයේ රුපියල් බිලියන 174.3ක් වූ කෙටිකාලීන ණය සහ වගකීම් 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 206.2ක් දක්වා ඉහළ ගොස් ඇත. 

එමෙන්ම, රුපියල් බිලියන 409ක්ව පැවති දිගුකාලීන වගකීම් ද රුපියල් බිලියන 411.2ක් දක්වා සුළු වශයෙන් වර්ධනය වී තිබේ.

පවතින පිරිවැය සහ ඉදිරි ආදායම් පුරෝකථන සැලකිල්ලට ගනිමින් 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු තවදුරටත් 10.3%කින් ඉහළ නැංවීමට මණ්ඩලය තීරණය කර ඇත. 

මේ අතර, 2025 වසරේ ආර්ථික වර්ධනයත් සමඟ විදුලි ඉල්ලුම ද අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, සමස්ත විදුලි අලෙවිය 5.8%ක වර්ධනයක් වාර්තා කර ඇත. 

විශේෂයෙන්ම ගෘහස්ථ කාණ්ඩයේ ඉල්ලුම දෙවන කාර්තුවේ සිට ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළද, වසර අවසානයේ බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පාරිභෝගික කාණ්ඩ කිහිපයක විදුලි ඉල්ලුම තාවකාලිකව පහළ ගිය බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Previous Post Next Post