ඉරානය සමග ලබන බදාදා වන විට සාකච්ඡා මගින් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් සටන් විරාමය දීර්ඝ නොකිරීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් ඉරානය සමඟ පවතින සාකච්ඡා ඉතා සාර්ථක බවත්, ඉරානය සතු සාරවත් කළ යුරේනියම් තොග පිටකිරීමට ඔවුන් එකඟ වී ඇති බවත් ප්‍රකාශ කර ඇත.
එහෙත් එම ප්‍රකාශයන් අසත්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කරන ඉරාන බලධාරීන් අවධාරණය කරන්නේ, සාරවත් කළ යුරේනියම් රටින් පිට කිරීමට සූදානම් නැති බවයි.
ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව පනවා ඇති නාවික අවහිර කිරීම් වහාම නතර නොකරන්නේ නම්, එම සමුද්‍ර සන්ධිය දිගින් දිගටම විවෘතව තැබිය නොහැකි බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) ප්‍රකාශ කරන පරිදි, අප්‍රේල් 13 වනදා සිට ආරම්භ වූ නාවික අවහිරය යටතේ ඉරාන වරායන් වෙත ඇතුළුවීමට හෝ පිටවීමට උත්සාහ කළ නෞකා 21ක් ඇමරිකානු නියෝග මත ආපසු හරවා යවා ඇත. මෙම තත්ත්වය මධ්‍යයේ වුවද, යුද්ධය ආරම්භ වූ දා සිට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ පළමු මගී නෞකාව ලෙස 'Celestyal Discovery' නෞකාව සාර්ථකව ගමන් කර ඇති බව වාර්තා වේ.
මෙම අර්බුදය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, චීනයේ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල 25% කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ අතර, ඕස්ට්‍රේලියාව ද දරුණු ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර, ඉන්ධන සැපයුම කළමනාකරණය කර ගැනීම සඳහා එරට ඉන්ධන ප්‍රමිතීන් තාවකාලිකව ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇත.
මේ අතර, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 10 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, අවතැන් වූ දහස් සංඛ්‍යාත ලෙබනන වැසියන් යළි සිය නිවෙස් බලා පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය සමනය නොවන්නේ නම් ගෝලීය බලශක්ති වෙළඳපොළ තවදුරටත් අස්ථාවර වීමේ අවදානමක් පවතින බව විචාරකයෝ පවසති.
