සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පුද්ගලික හේතූන් මත තමන් මෙම තීරණය ගත් බව ඒ මහතා පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
ආසන සංවිධායක ධූරයට අමතරව, සමගි ජන බලවේගය පක්ෂයේ සෞඛ්‍ය කමිටු, සිවිල් සංවිධාන කමිටු සහ දූෂණ විරෝධී කමිටුවල සාමාජිකත්වයෙන් ද තමන් ඉල්ලා අස්වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, තමන් තවදුරටත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, දෙහිවල - ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරන බව ඔහු එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
සමගි ජන බලවේගය තුළ නව දේශපාලන ප්‍රවණතාවයන් හඳුනාගෙන මධ්‍යස්ථ මතධාරීන්ට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රතිසංස්කරණ හා නව මුහුණුවරකින් යුක්තව පක්ෂය වෙනස් විය යුතු බවද ඔහු සඳහන් කොට ඇත.
පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා පවසා ඇත්තේ, සමගි ජන බලවේගය කාලීන ප්‍රවණතාවන්ට අනුව වෙනස් වෙමින් සිදුකරන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවයි.
මෙම ඉල්ලා අස්වීමේ ලිපියේ පිටපත් පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද යොමු කර තිබේ.

චමල්ට ගැලපෙන්නෙ නාමල්
ReplyDelete