ඉරාන වරායන් වෙත නාවික අවහිරතා පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් දැඩි තීරණයට ඊශ්‍රායලයේ පූර්ණ එකඟතාව සහ සහයෝගය හිමිවන බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.
තම කැබිනට් මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අමෙරිකාවේ මෙම ස්ථාවරය අතිශය වැදගත් පියවරක් වන බවයි.
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මහතා පාකිස්ථානයේ සිට යළි පැමිණෙන අතරතුර තමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ බවත්, ඉරානය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ බවත් නෙතන්යාහු පැවසීය.
අදාළ සාකච්ඡාවලදී අමෙරිකාවේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ ඉරානය සතු සියලුම පිරිපහදු කළ න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉවත් කිරීම සහ ඉදිරියට එවැනි කටයුතු සිදු නොකරන බවට සහතික වීමයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර මතභේද පවතින බවට පැතිර යන කටයුතු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, දෙරට අතර සබඳතා පෙරටත් වඩා ශක්තිමත්ව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඉරානය තුළ පවතින අමෙරිකා-ඊශ්‍රායල යුදමය වාතාවරණය හේතුවෙන් යුරෝපා සංගමය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් පවසයි.
පසුගිය දින 44 තුළ යුරෝපා සංගමයේ පොසිල ඉන්ධන ආනයන වියදම යුරෝ බිලියන 22කින් (පවුම් බිලියන 19.1කින්) ඉහළ ගොස් ඇතැයි ඇය අනාවරණය කළාය.
"අප පොසිල ඉන්ධන මත අධික ලෙස යැපීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් ඉතා ඉහළ මිලක් ගෙවීමට සිදු වී තිබෙනවා," යැයි පවසන ඇය, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහස සුරැකීම ලෝක ආර්ථිකයට අතිශය තීරණාත්මක බව ද පෙන්වා දුන්නාය.
ලොව තෙල් සහ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහාය. මෙම මාර්ගයෙන් ප්‍රවාහනය කරන බොරතෙල්වලින් වැඩිම ප්‍රමාණයක් (31%) ලබාගන්නේ චීනය වන අතර දෙවැනි තැන ඉන්දියාවට (14%) හිමිවේ.
මෙම මාර්ගය හරහා ප්‍රවාහනය කෙරෙන මුළු තෙල් ප්‍රමාණයෙන් 86%ක්ම ආසියානු රටවලට සපයනු ලබයි. එබැවින් මෙම කලාපයේ ඇති වන ඕනෑම බාධාවක් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
