ඉරානයට එරෙහිව පනවා ඇති නාවික අවහිරතාවය උල්ලංඝනය කරමින් යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන තෙල් නැව් දෙකක් අත්අඩංගුවට ගෙන ආපසු හරවා යැවීමට ඇමරිකානු නෞකාවක් කටයුතු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
නාමිකව හෙළි නොකළ ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කළේ, මෙම සිදුවීම පසුගිය අඟහරුවාදා දින වාර්තා වූ බවයි.
ඔමන් බොක්කේ පිහිටි ඉරානයේ චබහාර් වරායෙන් පිටත් වූ මෙම තෙල් නැව් දෙක සමඟ ගුවන් විදුලි සන්නිවේදනය හරහා සම්බන්ධ වූ ඇමරිකානු යුද නෞකාව, වහාම ආපසු හැරී යන ලෙස ඔවුන්ට නියෝග කර ඇත.
එක්සත් ජනපද මධ්‍යම අණසක විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙලෙස ඇමරිකානු නියෝග මත ඉරාන වරායන් වෙත ආපසු හරවා යැවූ වෙළඳ නැව් හය අතරට මෙම තෙල් නැව් දෙක ද ඇතුළත් වේ.
වොෂින්ටන් වේලාවෙන් පසුගිය සඳුදා පෙරවරු 10:00 ට ආරම්භ කරන ලද මෙම නාවික අවහිරතාවයෙන් පසු, මේ දක්වා කිසිදු නෞකාවකට එම සීමාවන් පසුකර යාමට ඉඩ ලබා දී නොමැති බව මධ්‍යම අණසක වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉරානයේ ආර්ථික මර්මස්ථානයක් බඳු වූ තෙල් අපනයනය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම මෙහෙයුම හේතුවෙන් කලාපීය නාවික ගමනාගමනය දැඩි පාලනයකට යටත් කර ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
