සටන් විරාමය ඉවරයි.. ඊශ‍්‍රායලයෙන් යලි ප‍්‍රහාර...


ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය සටන් විරාම ගිවිසුම් දිගින් දිගටම උල්ලංඝනය කරමින් සිටින බව පවසමින්
, එම සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය හමුදාවට නියෝග කර තිබේ.

දෙපාර්ශවය අතර සටන් විරාමය දීර්ඝ කිරීමට සාකච්ඡා සිදුවන පසුබිමක පවා උතුරු ඊශ්‍රායලයට සහ දකුණු ලෙබනනයේ ස්ථානගතව සිටින ඊශ්‍රායල සේනාංක වෙත ප්‍රහාර එල්ල වීම මෙම තීරණයට හේතු වී ඇත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී ප්‍රකාශයට පත් කළ සටන් විරාමය තවත් සති කිහිපයකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණද, ක්ෂේත්‍රයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය වී නොමැත.

පසුගිය සෙනසුරාදා දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දෙකක් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම දැඩි නියෝගය නිකුත් කර ඇත.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ සටන් විරාමය ආරම්භ වූ දා සිට මේ දක්වා තමන්ට තර්ජනයක් වූ හිස්බුල්ලා සටන්කාමීන් 30කට අධික පිරිසක් මරා දැමූ බවත්, ඔවුන්ගේ මධ්‍යස්ථාන සිය ගණනක් විනාශ කළ බවත්ය.

එසේම සෙනසුරාදා දකුණු ලෙබනනයේදී යතුරුපැදියකින් සහ පිකප් රථයකින් ගමන් කරමින් සිටි සටන්කාමීන් පිරිසක් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් එල්ල කරන ප්‍රහාර ඊශ්‍රායලය සිදුකරන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ලබාදෙන ප්‍රතිචාර බවයි. එමෙන්ම පසුගිය පෙබරවාරි 28 වැනිදා ඊශ්‍රායල - ඇමෙරිකානු ඒකාබද්ධ බෝම්බ ප්‍රහාර හමුවේ ඉරානයේ උත්තරීතර නායක අලි කමේනියි ඝාතනය වීමට එරෙහිව ද තමන් මෙලෙස ප්‍රහාර එල්ල කරන බව එම සංවිධානය අවධාරණය කරයි.

ඊශ්‍රායල සහ ලෙබනන නියෝජිතයන් අතර ඉහළ පෙළේ සාකච්ඡා වට දෙකක් ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් පවත්වා ඇති අතර, එහිදී 2024 නොවැම්බර් මස ඇති කරගත් සටන් විරාම ගිවිසුම යළි සක්‍රීය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත්, හිස්බුල්ලා සංවිධානය මෙම සාම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවට අග්‍රාමාත්‍ය නෙතන්යාහු චෝදනා කරයි.

ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන්නේ ඊශ්‍රායලය එල්ල කළ නවතම ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ පුද්ගලයන් සිවුදෙනෙකු මියගොස් ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ සටන් විරාමයේ ස්ථාවරභාවය පිළිබඳව දැඩි අවිශ්වාසයක් මතු වී ඇත.

Previous Post Next Post