වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවක ගින්නක්.. බාල බෙහෙත් සාක්ෂි විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැයි සැකයි..


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේ සිට මෙරටට ගෙන්වන ලද ඖෂධ, ඒවායේ සාම්පල සහ අදාළ ලිපිගොනු තැන්පත් කර තිබූ වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවක හදිසියේ හටගත් ගින්න සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ඉල්ලීමක් කරයි.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මෙය ස්වාභාවික හේතුවක් මත සිදුවූවක්ද නැතහොත් සාක්ෂි විනාශ කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් මෙහෙයවන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව දැඩි සැකයක් පවතින බවයි.

වෛද්‍ය සැපයුම් ඒකකය හරහා සිදුවූ ඖෂධ බෙදාහැරීම්වලට අදාළ වැදගත් සාම්පල සහ ලිපිගොනු රැසක් මෙම ගබඩාව තුළ තිබී ඇත. ගින්න හේතුවෙන් එම තීරණාත්මක සාක්ෂි විනාශ වීමේ අවධානමක් පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.

පසුගිය කාලසීමාව පුරා වෛද්‍ය සැපයුම් ඒකකය තුළ අඛණ්ඩව සිදුවූ බව කියන ඖෂධ ජාවාරම්වලට අදාළ තොරතුරු, ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග දක්වා ගමන් කිරීම වැළැක්වීමේ අරමුණින් කිසියම් පිරිසක් සංවිධානාත්මකව මෙම ගින්න ඇති කළේ දැයි පරීක්ෂණ පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කරයි.

මේ පිළිබඳව කරුණු දක්වමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා සත්‍ය අනාවරණය කරගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවයි.

Previous Post Next Post