භාණ්ඩාගාර කොල්ලයේ සාක්ෂි විනාශ කිරීමේ ක්‍රියාවලියක්..?


භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බව කියන රුපියල් කෝටි 80 කට (මිලියන 800) ආසන්න දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව නිදහස් නීතිඥයෝ සංවිධානය අවධාරණය කර සිටිති.

කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ප්‍රකාශ කළේ, මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව අභ්‍යන්තර "මහමොළකරුවෙකු" විසින් සැලසුම් සහගතව මෙහෙයවන ලද මූල්‍ය කොල්ලයක් බවයි.

මෙම වංචාව 'Business Email Compromise' (BEC) ලෙස හඳුන්වන තාක්ෂණික ක්‍රමවේදයක් හරහා සිදුව ඇති බව හෙළිදරව් විය. එහි විශේෂත්වය වන්නේ, එම අවස්ථාවේ ප්‍රසූත නිවාඩු ලබා සිටි භාණ්ඩාගාර නිලධාරිනියකගේ විද්‍යුත් තැපැල් (Email) ගිණුම මේ සඳහා යොදාගෙන තිබීමයි. 

විදේශීය පාර්ශ්වයකට මෙවැනි තොරතුරක් දැනගත නොහැකි බැවින්, අභ්‍යන්තරයෙන් තොරතුරු ලබාදීමක් සිදුව ඇති බවට සැක කරන බව ලක්තිලක මහතා පැවසීය.

පසුගිය වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී මෙම සිද්ධිය ආරම්භ වී ඇති නමුත්, රජය මෙය මාස කිහිපයක් තිස්සේ ජනතාවගෙන් සහ පාර්ලිමේන්තුවෙන් වසන් කර ඇති බවට චෝදනා එල්ල වේ. 

මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඒජන්සියකට යැවූ මුදල් ආපසු හැරී ඒම (Bounce back) සම්බන්ධයෙන් මහ බැංකුව සැක පළ කර තිබියදීත්, ඒ පිළිබඳව පොලිසියට හෝ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට වහාම දැනුම් දීමට භාණ්ඩාගාරය කටයුතු කර නැත.

එසේම, ප්‍රංශය විසින් ලබා දුන් ණය ගිවිසුමකට අදාළ පරිගණක දත්ත පවා භාණ්ඩාගාර පරිගණක පද්ධතියෙන් මකා දමා ඇති බවත්, මෙය සාක්ෂි විනාශ කිරීමේ ක්‍රියාවලියක් විය හැකි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

වගකීම පැහැර හැරීම භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) වාර්තා කළ බව පැවසුවද, ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ "බී වාර්තා" අංකයක් ප්‍රසිද්ධ කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බව නිදහස් නීතිඥයෝ පවසති.

"මෙය ලක්ෂයක දෙකක වංචාවක් නෙවෙයි. පොදු දේපළ පනත යටතේ ගැනෙන රුපියල් කෝටි 80 ක අපරාධයක්. මෙම වංචාව සම්බන්ධයෙන් පාරදෘශ්‍ය භාවයක් ඇති කර ගැනීමට නම්, මුදල් අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුයි" යැයි ශිරාල් ලක්තිලක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සිදුවීම හරහා වර්තමාන රජයේ පාලන තන්ත්‍රයේ සහ වගකීම දැරීමේ ඇති බරපතල පිරිහීම මනාව පැහැදිලි වන බව එම සංවිධානය වැඩිදුරටත් කියා සිටී.

3 Comments

  1. තිරිසන් ගල්කටස් මිනීමරු ජෙප්පා ...ජෙප්පෝ වෑඩ කරන්නේ කාඩිනල් සහ කොටි ඩයස්පෝරාවට ඕනා දේවල්

    ReplyDelete
  2. මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?

    ReplyDelete
  3. "මහමොළකරුවෙකු"

    Find and get a free air ticket from Vietnam to Sri Lanka from a PVT jet

    and get an opportunity to know who president of Germany

    ReplyDelete
Previous Post Next Post