පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ වැඩබලන අංශාධිපති පශ්චාත් උපාධි පාඨමාලා සම්බන්ධීකාරක ශාස්ත‍්‍ර පීඨයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සහ විශාමලත් මහාචාර්යවරයෙකුට එරෙහිව මහාචාර්ය මහින්ද හේරත්ගේ කීර්තිනාමයට හානිවන ක‍්‍රියාවන් කිරීමෙන් වැලකී සිටින ලෙස නියෝග කරමින් අතුරු තහනම් නියෝගයක් සහ වාරණ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණය විසින් කටයුතු කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ හිටපු අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත් විසින් මහනුවර දිසා අධිකරණයේ ගොනු කරන ලද නඩුවක් සලකා බලමින් මෙම නියෝග නිකුත් කිරීම සිදුකර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ හිටපු අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත්ගේ කීර්තිනාමයට හානි වන ලෙසට ඉහත විත්තිකරුවන් හතරදෙනා විසින් දිගින් දිගටම සිදුකරගෙන යන්නාවූ අගතිකාරී ක‍්‍රියාවන් හේතුවෙන් සිදුව ඇති අප‍්‍රතිකාරී හානීන්ට රුපියල් දෙකෝටියක වන්දියක් අයකර දෙන මෙන් ඉල්ලා සිටිමින් සහ එකී අගතිකාරී ක‍්‍රියාවන් තවදුරටත් සිදුකිරීමෙන් වලකින ලෙසට විත්තිකරුවන් වෙත නියෝග ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් මෙම නඩුව පවරා තිබේ.
පැමිණිලිකාර මහාචාර්ය මහින්ද හේරත් විසින් අධිකරණය වෙත සැල කර සිට ඇති කරුණ මගින් ඔහු වෙත අප‍්‍රතිකාරී හානියක් සිදුව ඇති බවට සහ බැලූ බැල්මට පෙනෙන නඩුකරයක් පවතින බවට සෑහීමකට පත්වී පැමිණිලිකරු විසින් ඉල්ලා ඇති අතුරු සහන ලබාදෙන බවට අධිකරණය විසින් නඩු වාර්ථාවේ සදහන් කර ඇත.
පැමිණිල්ල විසින් කියා සිටින කරුණු සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත්ව කරුණු කියා පෑමට කටයුතු කරන මෙන් විත්තිකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමටද අධිකරණය විසින් කටයුතු කර ඇත.
පැමිණිලිකාර මහාචාර්ය මහින්ද හේරත් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ අමිල අඹගල මහතා පෙනී සිට තිබේ.
