භාණ්ඩාගාර කොල්ලයෙන් IMF තැතිගනී.. ඊළග වාරික දෙන්න පෙර සමීප නිරීක්‍ෂණයක...

 


මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට සයිබර් අපරාධකරුවන් ඇතුළු වී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් කොල්ලකෑමේ සිදුවීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි අවධානය යොමුව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ පුවත්පත කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවයි.

මුදල් අමාත්‍යාංශයට අයත් බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට මෙලෙස හැකර්වරුන් ඇතුළු වී තිබේ. සොරකම් කරන ලද ඩොලර් ලක්ෂ 25ක මුදල ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ණය වාරිකයක් සඳහා වෙන් කර තිබූ ඒවා බව අනාවරණය වේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශය පිළිබඳව තමන් දැනුවත් බවත්, මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බවත් IMF ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වැනි සහ හය වැනි සමාලෝචන අවසන් කිරීම සඳහා මේ වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට දෙපාර්ශ්වය පැමිණ තිබේ.

මෙම සමාලෝචන කටයුතු විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින් සිටී.

2 Comments

  1. නය අරගෙන පලවත්තට දානවා , අපි රට වෙනුවෙන් හම්බකරනවා

    ReplyDelete
  2. මේ රටේ අයට ස්කෑමර්ලා හැකර්ලා කොන් ආටිස්ලා වෙන් කරලා හරියට හඳුනගන්න බෑ.ගේම දීලා තියෙන්නේ කෝන් ආටිස්ලා එහෙම නැත්නම් ස්කැමර්ස්ල සෙට් එකක් මේ හැකරෙක් අල්ලගෙන දඟලනවා

    ReplyDelete
Previous Post Next Post