ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවට අනුව, 'අස්වැසුම' සුබසාධන යෝජනා ක්‍රමය යටතේ පසුගිය 2025 වර්ෂය තුළ පවුල් මිලියන දෙකක ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දී තිබේ.
ඒ වෙනුවෙන් රජය වැය කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 148.4 කි.
2024 වර්ෂය හා සැසඳීමේදී ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව මෙන්ම ඒ සඳහා වූ පිරිවැය ද ඉහළ ගොස් ඇති බව වාර්තාව පෙන්වා දෙයි. 2024 වසරේදී පවුල් මිලියන 1.8 ක් වෙනුවෙන් රුපියල් බිලියන 145.6 ක මුදලක් වැය කර තිබුණි.
අස්වැසුම වැඩසටහන මගින් ඉදිරි වර්ෂ සඳහා ද පැහැදිලි ඉලක්කගත සැලසුම් ඉදිරිපත් කර ඇත. 2026 සහ 2027 මුල් භාගය පවුල් මිලියන 1.92 ක් සඳහා දීමනා ලබාදීමට අපේක්ෂිතය.
ආබාධ සහිත පුද්ගලයින්, නිදන්ගත වකුගඩු රෝගීන් සහ වයෝවෘද්ධ පුරවැසියන් ඇතුළුව පුද්ගලයින් මිලියන 1.27 ක් ආවරණය වන පරිදි විශේෂ දීමනා සැපයීමට ද මෙම යෝජනා ක්‍රමය හරහා සැලසුම් කර ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
