පවතින සටන් විරාමය බිඳ වැටුණහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන ඇමරිකානු යුද නැව්වලට ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව ඇමරිකානු මධ්‍යම විධානය පවසයි.
ඇමරිකාව පවසන්නේ මෙය කිසිදු උසිගැන්වීමකින් තොරව සිදුකළ ප්‍රහාරයක් බවයි. මෙයට ප්‍රතිචාර වශයෙන් "ආත්මාරක්ෂාව සඳහා" ඇමරිකාව විසින් ඉරානයේ ක්‍වෙෂ්ම් වරාය, බන්ඩර් අබ්බාස් සහ බන්ඩර් කර්ගන් යන ස්ථානවල පිහිටි ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර ඇත.
මෙම ප්‍රහාර හුදෙක් "ආදරණීය තට්ටුවක්" පමණක් බව පැවසූ ජනාධිපති ට්‍රම්ප්, ඉරානය වහාම නව ගිවිසුමකට එළඹිය යුතු බව අවධාරණය කළේය. අප්‍රේල් 7 වන දින ඇති කරගත් සටන් විරාමය තවමත් ක්‍රියාත්මක බව පැවසූ ඔහු, ඉරානය දිගින් දිගටම ඇමරිකාව සමඟ සෙල්ලම් කළහොත් "ඉරානයෙන් නැගී එන විශාල ආලෝකයක් " දැකීමට ලෝකයාට සිදුවනු ඇතැයි පවසා ඇත්තේ ඉරානයට දැවැන්ත විනාශයක් සිදු කරන බවට ඉඟි කරමිනි.
කෙසේ වෙතත්, ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ ඇමරිකාව විසින් සටන් විරාමය පළමුව උල්ලංඝනය කරමින් ඉරාන තෙල් නැවකට සහ සිවිල් වැසියන් වෙසෙන වෙරළබඩ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළේ තම ප්‍රහාර හමුවේ ඇමරිකානු නැව්වලට දැඩි හානි සිදු වූ බවත් ඒවා එම ප්‍රදේශයෙන් පලා ගිය බවත්ය. එහෙත් ට්‍රම්ප් සහ ඇමරිකානු හමුදාව පවසන්නේ තම නැව්වලට කිසිදු හානියක් සිදු නොවූ බවයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් රුසියාව සහ චීනය විසින් නිෂේධ බලය භාවිත කර පරාජය කර තිබේ. රුසියාව පවසන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගෙන යන හමුදාමය ක්‍රියාමාර්ග අර්බුදයට මූලික හේතුව වී ඇති බවයි. මේ අතර, පාකිස්තානය මැදිහත් වී සාම සාකච්ඡා සඳහා උත්සාහ කරමින් සිටින අතර, එම සාකච්ඡා නිසා හොර්මුස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වූ 'Project Freedom' නැව් ආරක්ෂක මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ද ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කලාපය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එල්ල විය හැකි මිසයිල තර්ජන හමුවේ සිය ගුවන් ආරක්ෂණ පද්ධති සක්‍රීය කර තිබේ
