මනම්පිටිය කැණීම් ව්‍යාපෘතියේ වැලි මංකඩ 2ක් දේශපාලන හිතවතුන්ට..?


 නිමල් ජයරත්න-මනම්පිටිය

නීති විරෝධී ලෙස දේශපාලන හිතවතුන් දෙදෙනෙකු සඳහා මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය තුළ වැලි මංකඩ දෙකක් ලබා දීමට වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද මනම්පිටිය වැලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා කටයුතු කර ඇති බව වැලි මංකඩලාභීහු පවසති .

මෙරට අධි සංවේදී පරිසර කලාපයක් වන මනම්පිටිය ජාතික ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටා ඇති මෙම මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය තුළ වැලි කැණීම් කිරීම සදහා මංකඩ ලබා දීමේදී විනිවිද භාවයෙන් කටයුතු කළ යුතු වුවද අදාළ තාක්ෂණ සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් මෙලෙස තම හිතවතුන් දෙදෙනකුට මහවැලි ගඟේ වම් ඉවුරේ සහ දකුණු ඉවුරේ වැලි මංකඩ දෙකක් අත්තනෝමතික ලෙස ලබාදී ඇති බවට චෝදනා එල්ලවේ.

මීට පෙර ද හිටපු පරිසර අමාත්‍යවරයකුගේ දේශපාලන හිතවතුන්ට නීති විරෝධී ලෙස වැලි මංකඩ 26 ක් ලබාදීමට පිඹුරු පත් සැකසූ මනම්පිටිය වැලි සමාගමේ නිලධාරීන් අට දෙනකුගේ සේවයද අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කටයුතු කර ඇති බවත් මෙලෙස මංකඩ ලබාදීම පිටුපස විශාල මුදල් වංචාවක් සිදු වී ඇති බවට සැකයක් පවතින බවත් වැලි මංකඩලාභීහු පැවසූහ.

එමෙන්ම මනම්පිටිය වැලි ව්‍යාපෘතිය ආරම්භ කළදා සිට ව්‍යාපෘතිය තුළ සිදු කෙරුණු දූෂණ අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර දූෂිත නිලධාරීන්ට දඬුවම් ලබාදීය යුතු බව වැලි සමාගමේ ටිපර් රථ හිමියෝ සඳහන් කරති.

අප මේ පිළිබඳව මනම්පිටිය වැලි සමාගමෙන් කළ විමසීමකදි, එහි ප්‍රකාශකයකු පැවසූයේ චෝදනා එල්ලවන පරිදී දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත මංකඩවල් ලබාදී නොමැති බවයි.

එමෙන්ම අක්‍රීය වූ වැලි මංකඩ, සක්‍රීයව පවත්වාගෙන යාමට හැකි පුද්ගලයන් තෝරාගෙන එම පුද්ගලයන්ට වැලිමංකඩ ලබාදීමට කටයුතු කර තිබෙන බැවින් කිසිදු මුදල් වංචාවක් හෝ ගනුදෙනුවක් සිදුව නොමති බවද ඔහු පැවසීය.

Aruna

Previous Post Next Post