ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉන්ධන මිලෙහි සැලකිය යුතු සංශෝධනයක් සිදු කළ යුතු බවත්, විශේෂයෙන්ම ඩීසල් ලීටරයක මිල රුපියල් 600 ඉක්මවූ මට්ටමකට ඉහළ නැංවිය යුතු බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ '360' කාලීන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට අනුකූලව මෙම මිල සංශෝධනය සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි.
තෙල් මිල වැඩි නොකර සිටීමට රජය තීරණය කළහොත් එහි සෘජු බලපෑම ලෙස රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ ඇති බව ඔහු අවධාරණය කරයි.
රුපියල අවප්‍රමාණය වීම හරහා තෙල් මිල පමණක් නොව කිරිපිටි, සීනි සහ ගෑස් ඇතුළු අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් සමස්ත උද්ධමනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
වත්මන් ක්‍රමය යටතේ රජය ලබාදෙන ඉන්ධන සහනාධාරය අවිධිමත් බව පවසන ප්‍රනාන්දු මහතා, ධනවත් පුද්ගලයන්ට පවා මෙම සහනාධාරය ලැබෙන බව සඳහන් කළේය.
ඒ වෙනුවට දුප්පත් ජනතාව සහ පොදු ප්‍රවාහන සේවා ඉලක්ක කර ගනිමින් සෘජු සහනාධාර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ඔහුගේ යෝජනාවයි.
විශේෂයෙන්ම බස් රථ ධාවනය වන කිලෝමීටර් ප්‍රමාණය අනුව ඩීසල් සහනාධාරය ලබා දීමෙන් මගී ගාස්තු ඉහළ යාම පාලනය කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
දත්ත විශ්ලේෂණය කරමින් ඔහු පෙන්වා දෙන්නේ වරායෙන් ඉන්ධන බාන මිල (Landing Cost) පමණක් රුපියල් 403-409ත් අතර අගයක පවතින බවයි.
එවන් තත්ත්වයක් තුළ ඩීසල් ලීටරයක් රුපියල් 392කට ලබා දීම පාඩු ලබන තත්ත්වයක් බවත්, මෙය දීර්ඝකාලීනව පවත්වාගෙන යාමෙන් ආර්ථිකය තවදුරටත් අගාධයකට ඇද වැටිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පෙට්‍රල් මිල ද අවම වශයෙන් රුපියල් 20කින් හෝ 30කින් පමණ ඉහළ යා යුතු බව විශ්ලේෂණාත්මක දත්ත මගින් තහවුරු වන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය

මුන්ට රට කරන්න තේරෙන්නේ නෑ , අපි හැමෝම අනුර කුමාර දිසානායක ජනපති කරවමු
ReplyDelete