76 වසරේම ණය ට්‍රිලියන 28යි.. අනුර යුගයේ ණය ට්‍රිලියන පහයි.. එය සමස්ථ ණයෙන් 15%ක්.. දැන් සියල්ල ට්‍රිලියන 33යි..


වර්තමාන රජයේ පාලන කාලය තුළ මෙරට ආර්ථිකය දැඩි අගාධයකට ඇද දමා ඇති බවත්, මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ රටේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන පහකින් ඉහළ ගොස් ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

කරුණානායක මහතා පෙන්වා දෙන්නේ 2024 සැප්තැම්බර් මාසයේදී රුපියල් ට්‍රිලියන 28.3ක් ලෙස පැවති මෙරට සමස්ත ණය ප්‍රමාණය, මේ වන විට රුපියල් ට්‍රිලියන 33.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය රුපියල් බිලියන 5000ක දැවැන්ත ණය වැඩිවීමක් බව ඔහු අවධාරණය කරයි.

එසේම, මීට පෙර රුපියල් 290ක්ව පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 331 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන ඒ මහතා, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය හිතාමතාම මෙවැනි විනාශකාරී තීරණ ගනිමින් සිටින බවට චෝදනා කරයි.

විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ ලැබීමේදී සිදුවන ප්‍රමාදයන් විමර්ශනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරන වාහන ආනයන සීමා කිරීම් සම්බන්ධයෙන් ද විකල්ප අදහස් ඉදිරිපත්ව ඇත.

"ශ්‍රී ලංකාව මාස තුනක කාලයක් සඳහා වාහන ආනයනය සීමා කරමින් සිටියි. රජය මෙය ආරක්ෂිත පියවරක් ලෙස හැඳින්වුවද, ආර්ථික විද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ ප්‍රතිපත්තියක් ලෙස වෙස්ගන්වන ලද බියක් ලෙසයි. ආනයන නැවැත්වීම මගින් රුපියල ආරක්ෂා නොවේ.

මෙයට වඩා හොඳ විසඳුම වනුයේ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේම එක්සත් ජනපද ඩොලර් හෝ විදේශ විනිමය සම්පත් භාවිතා කර වාහන ආනයනය කිරීමට අවසර දීමයි. එවැනි ආකෘතියකදී, විදේශ විනිමය සොයා ගැනීමේ බර රජය හෝ මහ බැංකුව මත නොව සම්පූර්ණයෙන්ම ආනයනකරු මත පැවරේ.

මේ හරහා රේගු බදු සහ අනෙකුත් බදු මගින් රටට ප්‍රතිලාභ ලැබෙන අතරම, අනවශ්‍ය වෙළෙඳපොළ විකෘතිතා සහ කළු කඩ පීඩනයන් මඟහරවා ගත හැකිය. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ කෘත්‍රිම අර්බුද නිර්මාණය නොකර ආදායම් උත්පාදනය කරන ප්‍රායෝගික, වෙළෙඳපොළ කේන්ද්‍රීය විසඳුම්ය."

පොලී අනුපාත වැඩි කරමින් සහ ආනයන සීමා කරමින් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ රටේ ආර්ථිකයට තවදුරටත් අහිතකර ලෙස බලපානු ඇති බවත්, මූල්‍ය ආයතන නිසි වගකීමෙන් කටයුතු නොකරන බවත් හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


Previous Post Next Post