හෝමූස් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් දරුණු සන්නද්ධ ගැටුම් ආරම්භ වී ඇත.
පසුගිය මාසයේ සිට ක්‍රියාත්මක වූ සටන් විරාමය උල්ලංඝනය කරමින් දෙපාර්ශවයම එකිනෙකාට ප්‍රහාර එල්ල කරගත් බවට චෝදනා නගන අතර, මේ හේතුවෙන් කලාපයේ සාමය තවදුරටත් අස්ථාවර වී තිබේ.
ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ඕමාන් බොක්ක දෙසට ගමන් කළ තම නාවික හමුදා නෞකා තුනකට ඉරාන මිසයිල සහ ඩ්‍රෝන මගින් ප්‍රකෝප කිරීමකින් තොරව ප්‍රහාර එල්ල වූ බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශ කළේ, තම නෞකා ආරක්ෂා කරගැනීමට එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ඉරාන යාත්‍රා සහ ඩ්‍රෝන විශාල ප්‍රමාණයක් විනාශ වූ බවයි. "මෙම ඩ්‍රෝන යාත්‍රා සමනලයෙකු මිය යනවා සේ ඉතා අලංකාර ලෙස සාගරයට ඇද වැටුණා," යැයි ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ ඇමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කරමින් ජස්ක් මුහුදු තීරයේ ගමන් කළ තම තෙල් ප්‍රවාහන නෞකාවකට සහ තවත් යාත්‍රාවකට ප්‍රහාර එල්ල කළ බවයි.
එසේම බන්දර් ඛමීර්, සිරික් සහ කේශ්ම් දූපත ඇතුළු ඉරාන වෙරළබඩ සිවිල් ප්‍රදේශවලට ඇමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කළ බවට ද ඉරාන හමුදා මධ්‍යම අණදෙන මූලස්ථානය චෝදනා කරයි.
කේශ්ම් දූපතේ ජලය පිරිපහදු කරන මධ්‍යස්ථානයක් ද පිහිටා ඇති අතර, එම ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත්තේ දෙරට අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 14කින් යුත් නව සාම යෝජනාවලියක් පිළිබඳව ඉරානයේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින පසුබිමක ය.
හෝමූස් සමුද්‍රසන්ධිය යළි විවෘත කිරීම සහ ලෝක වෙළඳපොලේ තෙල් හා ගෑස් මිල පාලනය කිරීම සඳහා නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම ඇමෙරිකාවේ ප්‍රමුඛ අරමුණක් වී ඇත.
එහෙත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කරන්නේ හෝමූස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට නම් ඇමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතා වහාම ඉවත් කළ යුතු බවයි.
ලෝකයේ බලශක්ති සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගමන් කරන හෝමූස් සමුද්‍රසන්ධිය වසා දැමීම ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඉරානයට බලපෑම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කරමින් සිටින අතර, පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ කලාපීය ස්ථාවරත්වය පිළිබඳ බරපතල ගැටළු මතු වී තිබේ
