යුරෙනියම් තොගය අපට දෙන්න.. අපි විනාශ කරන්නම්..- ට‍්‍රම්ප් ඉරානයට කියයි...

 


ඉරානයේ යුරේනියම් තොගය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේදී තීරණාත්මක සාකච්ඡා ආරම්භ වී ඇති පසුබිමක, එම යුරේනියම් තොගය විනාශ කිරීම සඳහා තමන් වඩාත් කැමති විකල්ප මොනවාදැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය තරයේ කියා සිටින්නේ ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු බවයි. එහෙත්, යුරේනියම් තමන් සතු ස්වෛරී අයිතිවාසිකමක් බව ඉරානය අවධාරණය කරයි. එමෙන්ම තමන් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බවද ඉරාන බලධාරීන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

මේ පිළිබඳව සඳුදා සවස සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය සතු යුරේනියම් තොගය වහාම ඇමෙරිකාවට භාරදී, එරටට රැගෙන ගොස් විනාශ කළ යුතු බවයි.

නැතහොත් ඉරාන ඉස්ලාමීය ජනරජයේ සහයෝගය සහ සම්බන්ධීකරණය ඇතිව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයක හෝ ඊට සමාන පිළිගත් ආයතනයක නිරීක්ෂණය යටතේ, එම ස්ථානයේදීම හෝ වෙනත් පිළිගත හැකි ස්ථානයකදී ඒවා විනාශ කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.

මේ අතර, ඉරානය සතු යුරේනියම් ඉවත් කිරීමට ඔවුන් "ප්‍රතිපත්තියක් වශයෙන්" එකඟ වී ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් 'CBS News' නාලිකාව ඉකුත් ඉරිදා වාර්තා කළේය. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බාකේ සඳුදා ප්‍රකාශ කළේ, වත්මන් සාකච්ඡා ප්‍රධාන වශයෙන් යොමුව ඇත්තේ ඇමෙරිකාව සමඟ පවතින සන්නද්ධ ගැටුම් අවසන් කිරීමට මිස න්‍යෂ්ටික ගැටලු පිළිබඳව නොවන බවයි.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම පිළිබඳවද අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණීමට ආසන්න බවයි.

'Axios' සහ 'Al Arabiya' මාධ්‍ය ජාල වාර්තා කරන පරිදි, දෝහා නුවරදී සාකච්ඡාවට ගැනීමට නියමිත ගිවිසුම් කෙටුම්පතට, ඉරානයේ යුරේනියම් තොගයේ අනාගතය පිළිබඳව දින 60ක කාලසීමාවක් තුළ සාකච්ඡා කර තීරණයකට එළඹීමේ එකඟතාවක්ද ඇතුළත් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගලිබෆ් පසුගිය සිකුරාදා කියා සිටියේ, ස්වෛරී රාජ්‍යයක් ලෙස ඉරානය තම අයිතිවාසිකම් කිසිසේත් පාවා නොදෙන බවයි.

ඕමානයේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ඡා වටයකින් පසු, ඉකුත් පෙබරවාරි මස අගදී ඇමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බැවින්, වත්මන් සාකච්ඡාවලට පෙර ඇමෙරිකාව මුලින්ම දෙපාර්ශවය අතර විශ්වාසය ගොඩනැඟිය යුතු බව ඉරාන නිලධාරීහු වැඩිදුරටත් පවසති.

4 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 27, 2026 at 6:22 AM

    ඇමරිකාවට යුරේනියම් නිකම් දෙන්ඩ කිව්වෙ නෑ, විකුණන්ඩ කිව්වේ. වෙළඳපලේ තියෙන මිළට. ඒ අනුව ඉරානයට තිබෙන ආර්ථික ප්‍රශ්ණ වලටත් හොඳ පිළිතුරක් ලැබෙනවා. ඉරානය ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ථවාදී රාජ්‍යයක් නිසා යුරේනියම් සුවිසල් සංචිත තබා ගැනීමට ඉඩ දීම ඉතාම භයානකයි. ඒ විතරක් නෙවේ මුලු මැදපෙරදිග කලාපයේම හූති, හමාස්, හිස්බල්ලාහ්, වගේ ත්‍රස්ත සංවිධාන වලට සෘජුවම ආධාර කරන්නේ ඉරානය. බැරි වෙලාවත් ඔය ත්‍රස්ථ සංවිධාන අතට න්‍යෂ්ඨික ආයුධයක් දෙන්ඩ ඉරානය කටයුතු කලොත් මොනව වෙයි ද? පකිස්ථානයේ න්‍යෂ්ඨික රහස් ආරක්ෂා කරගෙන ඉන්නෙත් ඇමරිකන් මැදිහත් වීමකින්. ඇමරිකන් මැදිහත් වීම අනිවාර්යයෙන් අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලෝකයට. අල් කයිඩා, අයි.එස්.අයි.එස්. වගේ ත්‍රස්ථ සංවිධාන වලට ඔය ආයුධ යන එක වලක්වන්ඩම අවශ්‍යයි, ඕනෑවට වඩා ප්‍රමාද වෙන්ඩ කලින්. නමුත් හමාස්, හූති, හිස්බල්ලාහ් කණ්ඩායම් වලට ඔය තාක්ෂණය ගියොත්, අල් කයිඩා, අයි.එස්.අයි.එස්. ත්‍රස්ථවාදීන්ට ඒක ලැබෙන එක වලක්වන්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. දැන් ඇයි අර ඇමරිකාව කියුබාවට ගහන්න යන්නේ එහෙත් යුරේනියම් තියනවද? නැත්තන් මුස්ලිම් අන්තවාදීන් ඉන්නවද?

      Delete
    2. naha unta support MENATL lanthayak thiyena hinda

      Delete
  2. හා හා දෙන්නම්.ඵන්න හොඳේ

    ReplyDelete
Previous Post Next Post