දිට්වා කුණාටු ආධාර කෝටි ගණන් වංචා කර සාක්කුවට දාගෙන...


 මොනරාගල දිස්ත්‍රික්කයට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේදී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

මදුරුකැටිය ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් සිදුව ඇති මෙම දූෂිත ක්‍රියාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ නිලධාරීන් විසින් විවිධ උපක්‍රම භාවිත කරමින් රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට කරුණු හෙළිවී ඇත.

හානියේ සැබෑ වටිනාකමට වඩා වැඩි මුදලක් වන්දි ලෙස නිර්දේශ කර, එම අතිරික්ත මුදල නිලධාරීන් විසින් ලබාගෙන තිබේ.වන්දි චෙක්පත් බැංකුවෙන් මාරු කර දීමේදී, ඉන් සියයට පනහක මුදලක් අදාළ නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.

කිසිදු හානියක් සිදු නොවූ නිවාස සඳහා ද වන්දි මුදල් අනුමත කර ඇති අතර, එකම පවුලේ සැමියා සහ බිරිය යන දෙදෙනාටම වන්දි ලබා දුන් අවස්ථා ද හඳුනාගෙන ඇත.

මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන ආපදා සහන සේවා නිලධාරියෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත. එමෙන්ම, මෙයට සම්බන්ධ අනෙක් පාර්ශවය වන ග්‍රාම නිලධාරියාට ස්ථාන මාරුවක් ලබා දී විනය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මොනරාගල දිසාපති ඒ.ජී. නිශාන්ත මහතා පවසන්නේ මේ පිළිබඳව මූලික විමර්ශන සිදු කර අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගත් බවයි.

මෙම වංචාව නිසා අගතියට පත් ජනතාව විසින් මේ වන විටත් මොනරාගල පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ඉදිරි නීතිමය කටයුතු ද ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සමස්ත වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ 189ක් පමණ වන බවට ගණන් බලා ඇත.

2 Comments

  1. kalin anduwa thiyeddi karala purudu nisa karanna athi

    ReplyDelete
Previous Post Next Post