ඉරාන යුද්දය ඉන්දියන් සාගරයෙන් යලි ඇවිලේ.. ඉරාන තෙල් නැවක් ඇමරිකා අත්අඩංගුවට..


 ඉරානය සමඟ සබඳතා පවත්වන ලදැයි සැකකෙරෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉන්දියන් සාගරයේදී ඇමරිකානු බලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව එරට නිලධාරීන් තිදෙනෙකු තහවුරු කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යළිත් වරක් මිලිටරි ක්‍රියාමාර්ග ගත හැකි බවට අනතුරු අඟවමින් සිටින පසුබිමක මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

ඉරාන තෙල් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු සම්බාධකවලට ලක්වූ Skywave නැමැති නෞකාව මෙලෙස ඇමරිකානු භාරයට ගෙන ඇත.

නෞකා ගමනාගමන දත්තවලට අනුව, මලක්කා සමුද්‍ර සන්ධිය පසුකිරීමෙන් අනතුරුව මෙම නෞකාව මැලේසියාවට බටහිර දෙසින් යාත්‍රා කරමින් තිබී ඇත. නෞකා තැරැව්කරුවන් සහ Lloyd’s List Intelligence ආයතනයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී ඉරානයේ 'ඛාර්ග්' දූපතෙන් පටවන ලද බොරතෙල් බැරල් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම නෞකාව තුළ තිබෙන්නට ඇති බවයි.

වොෂින්ටනය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් සම්බාධක මාලාවේ කොටසක් ලෙස, ඉරානයේ රහසිගත නෞකා සංචිතයට අයත් බවට සැක කෙරෙන තෙල් නැවක් ඇමරිකානු භාරයට ගත් තෙවන අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත්, මෙම මෙහෙයුම ඕමාන් බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රිතව ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව දැනට දියත් කර ඇති නාවික අවහිර කිරීම්වලට සෘජුව සම්බන්ධ නොවන තනි මෙහෙයුමකි.

මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ ‘මැජෙස්ටික් එක්ස්’ සහ ‘ටිෆනි’ යන නෞකා දෙකද ඇමරිකාව විසින් තම භාරයට ගන්නා ලදී.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති කොන්දේසිවලට අවනත වන ලෙස බල කරමින් ට්‍රම්ප් පරිපාලනය ටෙහෙරානයට එල්ල කරන පීඩනය තවදුරටත් දැඩි කරමින් සිටියි.

පසුගිය අඟහරුවාදා මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහිව නව යුදමය ප්‍රහාර එල්ල කිරීමට තීරණය කිරීමට තමාට තවත් පැයක වැනි සුළු කාලයක් තිබියදී ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල ඉල්ලීම මත එම තීරණය තාවකාලිකව ප්‍රමාද කළ බවයි.


1 Comments

  1. ඉන්ධන මිල වැඩි කරන්න පිටිය සකස් කිරීම.

    ReplyDelete
Previous Post Next Post