වාහනවල අන්තරාදායක කොටස්,අධි ශබ්ද සයිලන්සර, හෝන් අල්ලයි..

 


පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෝටර් වාහනවල අන්තරාදායක කොටස් සවි කිරීම, සයිලන්සරය ඔස්සේ අධික ශබ්දය/ අමිහිරි, විකෘති, කඨෝර ශබ්ද සහ විවිධ ශබ්ද පිටකිරීම මඟින් මහජනයාට සිදුවන හිරිහැර හා පීඩා වළක්වා ගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීම.

මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රමුඛ වගකීමකි.

දිවයිනේ මහා මාර්ග වල ධාවනය කරනු ලබන ඇතැම් රථවාහන, අන්තරාදායක ලෙස නවීකරණය කරන ලද පැරණි වාහන නියමිත යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය සහ අන්තරාදායක කොටස් සවිකර ධාවනය කිරීම් සිදු කරන බවට නිරීක්ෂණය වී ඇත. නීති විරෝධි සවි කිරීම් සමඟින් රථවාහන මාර්ගයේ ධාවනය කිරීම එම රථය තුල සිටින පුද්ගලයින්ට මෙන්ම මාර්ගය භාවිතා කරන්නන්ට අනතුරු, අපහසුතා, කරදර හෝ හානි සිදු වීමේ ප්‍රවණතාවයක් පවතී. මෑත කාලයේදී සිදු වූ රිය අනතුරු නිරීක්ෂණය කිරීමේදී බොහෝ බස් රථ ප්‍රමාණයක් නවීකරණය කරන ලද බස් රථ වන අතර ඒවා නිසි තත්ත්ව වාර්තා, ධාවන තත්ත්ව වාර්තා ලබාගෙන නොමැති බවටද නිරීක්ෂණය වී ඇත.

තවද, ඇතැම් පුද්ගලයින් මෝටර් වාහන ධාවනය කිරීමේදී කිරීමේදී නිෂ්පාදකයා විසින් සකස් කරන ලද සයිලන්සරවල ශබ්දය වෙනස් කිරීම, අධික ලෙස ශබ්දය පරිසරයට මුදා හැරීමට සැලැස්වීම, වෙනත් සයිලන්සර සවි කිරීම සහ සයිලන්සරයේ හැඩය වෙනස් කිරීම හා විවිධ කොටස් එකතු කිරීම ආදිය මගින් මෝටර් වාහන නවීකරණය සිදු කරනු ලබයි..

මෝටර් වාහන ආඥා පනත ප්‍රකාරව නීති විරෝධී ලෙස අන්තරාදායක උපාංග සවිකිරීම්, නිවී නිවී දැල්වෙන සවිරාම වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, විවිධ නලා භාවිතය, වර්ණය වෙනස් කිරීම, වාහනවල ඉදිරිය පිටුපස සහ බඳෙහි චිත්‍ර, මෝස්තර, වෙළඳ දැන්වීම්, ඉෂ්ඨ රූප ප්‍රර්දර්ශනය කිරීම, නිර්මාණය වෙනස් කිරීම්ද නීති විරෝධී වේ.

  • එසේම යම් මෝටර් වාහනයක් සෑම අංශයකින්ම එම මෝටර් වාහනය ඇතුලතසිටින යම් පුද්ගලයෙකුට හෝ මාර්ගය භාවිතා කරන යම් පුද්ගලයෙකුට අනතුරක්, අපහසුවක්, කරදරයක් හෝ හානියක් සිදු නොකරන හෝ සිදු කිරීමට ඉඩ නැති තත්ත්වයකින් ඇත්තේනම් මිස මාර්ගයේ ඇති යම් වාහනයකට අනතුරක් සිදු නොකරන හෝ සිදු කිරීමට ඉඩ නැති තත්ත්වයකින් ඇත්තේනම් මිස හෝ මාර්ගයේ හෝ ඊට යාබදව ඇති යම් දේපලකට අනතුරක් සිදු නොකරන හෝ සිදු කිරීමට ඉඩ නැති තත්ත්වයකින් ඇත්තේනම් මිස එම මෝටර් වාහනය මාර්ගය භාවිතා නොකල යුතු ලෙසට මෝටර් වාහන ආඥා පනතේ සඳහන්ව ඇත.

තවද, රථවාහන මාර්ගයේ ධාවනය කිරීමේදී රථවාහන වලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වූ සෑම විටකදීම ඒ පිළිබඳව අදාළ වාහනයේ අංකය සිද්ධිය වූ දිනය හා ස්ථානය සඳහන් කරමින් අංක 070 - 3500525 දරණ වට්ස් ඇප් දුරකථන අංකය වෙතයොමු කිරීමෙන් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා රථවාහන දුමාරය මඟින් පරිසරයට සිදු වන දැඩි හානිය වළක්වා ගැනීමට හැකියාව ඇත.

ඒ අනුව තම රථවාහන, මාර්ගයේ ධාවනය කිරීමට ප්‍රථම රිය ධාවනයට අදාලව පවතින නෛතික තත්ත්වයන්ට අනුකූලව නිසි අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසට පොලිසිය එම රථවාහන හිමිකරුවන් හා රියැදුරන්ගෙන් ඉල්ලා සිටින අතර මහමඟ ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් පොලිසිය දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රථ වාහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.

1 Comments

  1. සයිලන්සර් නෙවේ.බස් ඇතුලෙ ගහලා තියන බෆල් ගලවපල්ලාකො.
    පුදුම කරුමයක්.මහන්සිවෙලා ගෙදර යනකොට කනක් ඇහෙන්න නෑ.
    ඩිං ඩිං ගාලා බහිනකංම පපුවට ගහනවා වගේ.
    177 බස්වල තනිකරම 3rd class මියුසිකල් ශෝ.
    බස් ඩ්‍රයිවර්ලා කොන්දලා කැමති සින්දු අපි අහගෙන යන්න ඕන.
    පුදුම හිසරදයක්.

    ReplyDelete
Previous Post Next Post