ඇමරිකාවේ විශාලම යුද නැව ඉරාන යුද්දය අතහැර ආපසු ඇමරිකාවට යයි...

ලොව විශාලතම ගුවන්යානා ප්‍රවාහන නෞකාව වන USS Gerald R. Ford, මාස 11ක දීර්ඝ මෙහෙයුමකින් පසු පසුගිය සෙනසුරාදා වර්ජිනියා ප්‍රාන්තයේ නෝර්ෆොක් නාවික මධ්‍යස්ථානය වෙත සේන්දු විය.

මෙය වියට්නාම යුද්ධයෙන් පසු ඇමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් සිදුකළ දීර්ඝතම මෙහෙයුම ලෙස වාර්තා වේ.

මෙම නෞකාව ඉරානය සමඟ පැවති යුද්ධයට සහාය වීම සහ වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට දායක වීම වැනි තීරණාත්මක කාර්යයන් කිහිපයක නිරත විය.

නෞකාව සමඟ පැමිණි USS Bainbridge සහ USS Mahan යන විනාශකාරී නෞකා (destroyers) ද වරායට සේන්දු වූ අතර, එහි සිටි නාවිකයන් 5,000ක් පමණ මාස 11කට පසු සිය පවුල්වල සාමාජිකයන් මුණගැසුණි.

නාවික හමුදා දත්තවලට අනුව, USS Gerald R. Ford නෞකාව දින 326ක් මුහුදේ ගත කර ඇති අතර, මෙය පසුගිය වසර 50ක කාලය තුළ ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් අඛණ්ඩව සේවයේ යෙදුණු වැඩිම කාලයයි.

මීට පෙර 1965 දී USS Coral Sea (දින 329) සහ 1973 දී USS Midway (දින 332) යන නෞකා මීට වඩා වැඩි කාලයක් සේවයේ යොදවා තිබුණි.

මෙහෙයුම් අතරතුර නාවිකයන්ට විවිධ දුෂ්කරතාවලට ද මුහුණ දීමට සිදු විය. විශේෂයෙන් ග්‍රීසියේ ක්‍රීට් දූපත අසලදී නෞකාවේ රෙදි සෝදන අංශයක හටගත් ගින්නක් හේතුවෙන් නාවිකයන් සිය ගණනකට නිදාගැනීමට ස්ථානයක් නොමැති වූ අතර, නෞකාව දීර්ඝ කාලයක් අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තැබීමට ද සිදු විය.

නෞකාවේ පැමිණීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වූ ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth), නාවික හමුදා සාමාජිකයන්ගේ සේවය අගය කළේය. "ඔබ ඉටුකළේ මෙහෙයුමක් පමණක් නොව, ඔබ ඉතිහාසයක් නිර්මාණය කළා. ඔබ මුළු ජාතියක්ම ආඩම්බරයට පත් කළා" යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මුලින් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබූ මෙම නෞකාව, පසුව කැරිබියන් මුහුද හරහා මැදපෙරදිග දක්වා යොමු කෙරුණේ කලාපීය නොසන්සුන්තාවලට මුහුණ දීම සඳහාය. පසුව සූවස් ඇළ සහ රතු මුහුද හරහා ගමන් කරමින් මෙම නෞකාව ඉරාන යුද්ධයේ ආරම්භක මෙහෙයුම් සඳහා ද සක්‍රීයව දායක විය

1 Comments

  1. ලෝක යුද්දය නිසා වැඩි කරපු වාහන බදු අඩු කරන්න පුලුවනිද ?

    ReplyDelete
Previous Post Next Post