රජයේ රෝහල් පද්ධතිය තුළ හදවත් සැත්කම් සිදුකරවා ගැනීම සඳහා රෝගීන් දස දහසකට අධික ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල පසුවන බවත්, ඇතැම් රෝගීන්ට සැත්කම් සඳහා ලබා දී ඇති දින 2029 වසර දක්වා ඈතට ගොස් ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
කොළඹ, මහනුවර, ගාල්ල, අනුරාධපුරය, යාපනය සහ මඩකළපුව යන ප්‍රධාන රෝහල්වල පවතින මෙම තත්ත්වය හේතුවෙන් හෘද රෝගීන් දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
රජයේ රෝහල්වල පවතින තදබදය හේතුවෙන් පුද්ගලික අංශයෙන් සැත්කම් සිදුකර ගැනීමට උත්සාහ කළද, අද වන විට එහි පිරිවැය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. බයිපාස් (Bypass) සැත්කමක් හෝ ස්ටෙන්ට් (Stent) එකක් දැමීම සඳහා මූලික ගාස්තුව රුපියල් ලක්ෂ 15 සීමාවට පැමිණ ඇති අතර, දැඩි සත්කාර ඒකකවල ගත කරන දින ගණන අනුව එම මුදල කිහිප ගුණයකින් වැඩි වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
හදවත් සැත්කම් සඳහා ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා දෙන බව රජය ප්‍රකාශ කළද, එම ක්‍රියාවලිය මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය නොවන බව චමල් සංජීව මහතා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම, මෙරට සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමේදී සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
රජයේ රෝහල්වල පවතින සැත්කම් උපකරණ හිඟය මෙන්ම ඇතැම් අත්‍යවශ්‍ය රසායනාගාර පරීක්ෂණ පවා පෞද්ගලික අංශයෙන් සිදු කරවා ගැනීමට සිදුවීම හේතුවෙන් දුප්පත් රෝගීන් අසරණතාවයේ පතුලටම ඇද වැටී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා රජය කඩිනමින් මැදිහත් නොවුණහොත්, ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් හෘද රෝගීන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවා සිටියි.

ආණ්ඩුව බිලියන් ගණන් ඉතිරි කරා කියල පොර ටෝක් දෙන්නේ මේ හින්ද තමයි.
ReplyDeleteඅදින්නපුබ්බක ජනාධිපති වෙලා අපි ඔක්කොම මට්ටකුණ්ඩලීලා වෙලා. බුදුහාමුදුරුවෝ හිටියා නම් ඉක්මනට දිව්‍ය ලෝකයට යන්න තිබුණා. දැන් ඉතිං මොනවා කරන්නද?. අඩුම ගානෙ මූන් පිස්සු බලු ඉන්ජෙක්ෂන් වත් ගෙනෙන්නේ නැහැ.
ReplyDeleteWhat a fucking free health service
ReplyDelete