රහස් රැසක් සමග කපිල චන්ද්‍රසේනගේ දුරකතනය Face ID ඉල්ලයි.. විමර්ෂකයන් අමාරුවේ..


 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී, ඔහුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමට නොහැකි වීම බලවත් ගැටලුවක් වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය විය.

විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනය සඳහා 'මුහුණ හඳුනාගැනීමේ' (Face ID) ආරක්ෂිත මුරපදයක් යොදා ඇති බවයි.

මේ හේතුවෙන් දුරකථනය තුළ ඇති දත්ත ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින්, එය නිෂ්පාදිත සමාගම වෙත හෝ වෙනත් තාක්ෂණික විශේෂඥ ආයතනයක් වෙත යොමු කර සහාය ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.

මරණකරුගේ සිරුරෙන් ලබාගත් රුධිර සාම්පල දෙකක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර හිමි විය.

අපරාධ ස්ථානයේ තිබී හමු වූ ගෙල බැඳි පටිය දැනට අධිකරණ භාරයේ පවතින අතර එයද රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ හඳුනා නොගත් ඖෂධ වර්ග පිළිබඳව මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ ඒවා දැනට වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවත්, ඉදිරියේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත්ය.

මෙම මරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් දැනටමත් සාක්ෂි ලබාගෙන ඇත.

ජංගම දුරකථනයේ අගුලු විවෘත කර විමර්ශන සඳහා පොලිසියට දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ‘ඇපල්’ ජංගම දුරකථන සමාගමේ ඇමරිකාවේ පිහිටි මව් සමාගමට නියම කළේය.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 14 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

1 Comments

  1. Anrayage Punchi-ammage moona pennuvanam hari nikamma borr hila arevi

    ReplyDelete
Previous Post Next Post