ලෝක බැංකු සමූහය විසින් 2026 ජුනි මාසය සඳහා සකස් කළ ගෝලීය ආර්ථික අනාගත වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ආර්ථික ගමන්මඟ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.
එම වාර්තාවට අනුව 2026 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.6ක අගයක් ගනු ඇතැයි ලෝක බැංකුව යළිත් පුරෝකථනය කර ඇති අතර, පසුගිය අප්‍රේල් මාසයේදීද ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මෙම අගයමය.
එසේම මෙරට ආර්ථික වර්ධන වේගය 2027 වසරේදී සියයට 3.8ක අගයක් සහ 2028 වසර වන විට සියයට 3.9ක් වනු ඇතැයිද එහි සඳහන් වේ.
ලෝක බැංකු දත්ත පෙන්වා දෙන්නේ මීට පෙර 2024 සහ 2025 වසර වලදී ශ්‍රී ලංකාව සියයට 5.0 බැගින් වූ ආර්ථික වර්ධන වේගයක් සනිටුහන් කර තිබූ බවයි.
කෙසේ වෙතත්, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා නිකුත් කළ දත්තවලට අනුව 2026 වසරේ පළමු කාර්තුව තුළ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5.1 ක ඉහළ අගයක් ගෙන තිබුණි.
ගෝලීය තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ලෝක බැංකු සමූහය පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට ලොව පුරා ආර්ථිකයන්ගෙන් තුනෙන් දෙකකම වර්ධන පුරෝකථන පහළ වැටී ඇති බවයි.
මෙහිදී වඩාත්ම දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙතය.
මූලිකවම මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම් හේතුවෙන් නිර්මාණය වූ ඉන්ධන හිඟතාව සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල හිඟතාවත් සමඟ ආහාර හා බලශක්ති මිල ගණන් ඉහළ යාම මෙම ගෝලීය ආර්ථික වර්ධන වේගය අඩාල වීමට ප්‍රධාන හේතු වී තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන කල, ආර්ථික වර්ධන වේගයේ පුරෝකථනය මෙලෙස පහත වැටීමෙන් රට තුළ පවතින අවිනිශ්චිතතාව සහ ඉහළ නිෂ්පාදන පිරිවැය පෙන්නුම් කරන බව ලෝක බැංකුව සඳහන් කරයි.
මෙම තත්ත්වය ඉදිරි ආයෝජන කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවටද ඔවුහු අදහස් පළ කරති.
එසේ වුවද, ශ්‍රී ලංකා රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇතැයි ලෝක බැංකුව පවසයි.
ඒ හේතුවෙන් ඉදිරි කාලයේදීද ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇතැයිද එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

මුන්ට ඉස්සර ඉදලම තුනත් එක්ක මාර බැදීමක් තියේන්නෙ
ReplyDeleteදුන්නු චන්දෙ ගැන ආඩම්බරයි. ජවිපාවුන් තමයි හොදම කරලා තියෙන්නෙ.
ReplyDelete