බිලියන ගණනක අතිිරික්ත කතා බොරු.. පළමු කාර්තුවේ අයවැය හිගය බිලියන 606යි..


 2026 වසරේ පළමු කාර්තුව තුළ රජයේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගණනක අතිරික්තයක් පවතින බවට රජය සහ මහ බැංකුව එක්ව සිදුකරන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, එය මහජනතාව නොමඟ යැවීම සඳහා භාවිත කරන ‘තාක්ෂණික වචන හරඹයක්’ පමණක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, රාජ්‍ය ආර්ථිකයේ සැබෑ තත්ත්වය වසන් කරමින් ආණ්ඩුවේ කණ්ඩායම් විසින් දිනපතා මෙවැනි වැදගැම්මකට නැති සංඛ්‍යා ලේඛන සමාජගත කරමින් සිටින බවයි.

ප්‍රාථමික අතිරික්තය යනු රටක් නොමඟ යැවීම සඳහා ඉතා සූක්ෂ්ම ලෙස භාවිත කළ හැකි වචනයක් බව පෙන්වා දෙන ඒ මහතා, රජයක සම්පූර්ණ ආදායමෙන්, පෙර ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදල මෙලෙස හැඳින්වෙන බව සඳහන් කරයි.

රට අතිශය දුෂ්කර තත්ත්වයක තිබූ 2023 වසරේදී පවා රුපියල් මිලියන 173,332 ක සහ 2024 වසරේදී රුපියල් මිලියන 649,569 ක ප්‍රාථමික අතිරික්තයක් පැවති බව සිහිපත් කරන තෙන්නකෝන් මහතා, එම නිසා මෙය ආර්ථිකයේ සැබෑ වර්ධනය පෙන්වන දර්ශකයක් නොවන බව අවධාරණය කරයි.

මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ දත්තවලට අනුව, 2026 වසරේ පළමු කාර්තුවේ රජයේ ආදායම රුපියල් බිලියන 1473.8 කි. එහිදී පුණරාවර්තන වියදම රුපියල් බිලියන 688.9 ක් සහ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 103.2 ක් වන අතර, එම වියදම් දෙකේ එකතුව රුපියල් බිලියන 792.1 ක් වේ.

රජයේ ආදායම සහ වියදම අතර පරතරය අනුව කඩදාසි මත රුපියල් බිලියන 681.7 ක ප්‍රාථමික අතිරික්තයක් පෙනෙන්නට තිබේ. එසේම පළමු කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වලින් වැය කර ඇත්තේ සියයට 7.5 ක් වැනි සුළු ප්‍රතිශතයක් වන අතර, සාමාන්‍යයෙන් රජයේ වියදම් ඉහළ යන්නේ වසරේ අවසන් කාර්තු තුනේදීය.

රජය විසින් මෙම ප්‍රාථමික අතිරික්තය පෙන්වන්නේ රටේ ණය සහ පොලී වගකීම් මඟහරිමිනි. මෙම පළමු කාර්තුව තුළ ණය පොලිය ලෙස රුපියල් බිලියන 593.2 ක් සහ දේශීය හා විදේශීය රාජ්‍ය ණය ආපසු ගෙවීම් ලෙස රුපියල් බිලියන 694.7 ක් පවතින අතර, ණය සහ පොලිය වෙනුවෙන් ගෙවිය යුතු මුළු එකතුව රුපියල් බිලියන 1,287.9 කි.

මේ අනුව, පළමු මාස 3 තුළ ප්‍රාථමික අතිරික්තය ධන අගයක් ගෙන ඇති බව සැබෑවක් වුවද, රටේ සැබෑ ණය සහ පොලී ගෙවීම් සිදුකළ පසු පළමු කාර්තුවේ සමස්ත අයවැය ඌණතාවය හෙවත් සැබෑ හිඟය රුපියල් බිලියන 606.2 ක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

එබැවින් ආණ්ඩුව සහ මහ බැංකුව එක්ව සිදුකරන මවාපෑම්වලට නොරැවටෙන ලෙසත්, තාක්ෂණික වචන හරඹවලින් වසා ඇති රටේ සැබෑ මූල්‍ය අර්බුදය වටහා ගන්නා ලෙසත් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

2 Comments

  1. Harima rinathmakai. Anduwa saha maha bankuwa janathawa rawattane natha. Rajapakshalata kade yana ekek. Athulata damiya uthui.

    ReplyDelete
  2. හොර ජෙවිපි හැතිකරෙ බලයට ආවෙත් බොරු කියලා බලය පවත්වාගෙන යන්නෙත් පච කෙලලා..

    ReplyDelete
Previous Post Next Post