පොලිස් නිලධාරින්ගේ පින්තූර යොදා සමාජ ජාලාවල මුදල් වංචා...


අන්තර්ජාලය සහ විවිධ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින්, පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ව්‍යාජ ලෙස භාවිතා කරමින් වංචනික පුද්ගලයන් විසින් සිදු කරනු ලබන මූල්‍ය අක්‍රමිකතාවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි

පරිගණක හෝ ජංගම දුරකථන ආධාරයෙන් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ඇතුළත් ව්‍යාජ WhatsApp සහ Telegram ගිණුම් සකස් කර, පුද්ගලයන් රවටා මෙවැනි මූල්‍ය වංචාවන් සහ නීති විරෝධී ක්‍රියාවන් සිදු කරන බවට නිරීක්ෂණය වී ඇත

මේ සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පොලිසිය විමර්ශන පවත්වා සැකකරුවන් රැසක් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම්වලට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියි.

වංචනිකයන් විසින් මහජනතාව මුළා කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන බව පොලිසිය පෙන්වා දෙයි. ඒ අනුව, කාර්යාලීය ස්ථාවර දුරකථන හෝ පෞද්ගලික ජංගම දුරකථන වෙත ඇමතුම් ලබා දෙමින් තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හෝ ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන ඒකකවල නිලධාරීන් ලෙස හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරයි

එසේම අදාළ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත යොදාගෙන කිසියම් වංචාවක් සිදු කර ඇති බව, නොදන්නා ප්‍රදේශයකින් බැංකු කාඩ්පතක් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති බව හෝ ඔවුන්ගේ බැංකු ගිණුම් මුදල් විශුද්ධිකරණ (Money Laundering) ජාවාරම් සඳහා යොදාගෙන ඇති බැවින් නඩු පවරන බව පවසමින් බියගැන්වීම් සිදු කරයි

පසුව රහසිගත විමර්ශනයක් පවතින බව පවසා, ඊට උදව් කිරීමේ මුවාවෙන් ව්‍යාජ නිල ලාංඡන, ව්‍යාජ ලේඛන සහ නිලධාරීන්ගේ ඡායාරූප WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය වෙත යොමු කරමින් විවිධ තොරතුරු ඉල්ලා සිටියි

එමෙන්ම පැමිණිලි සමථයකට පත් කිරීමට, ගිණුම් සත්‍යාපනයට (Verification) හෝ අත්හිටුවන ලද බැංකු ගිණුම් යළි සක්‍රිය කිරීමට යැයි පවසමින් බැංකු ගිණුම්වලට ඇතුළු වීමට අවශ්‍ය OTP අංක ලබාගැනීම, වෙනත් ගිණුම්වලට මුදල් මාරු කරවා ගැනීම හෝ USDT වැනි ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) මිලදී ගෙන එවන ලෙස බලපෑම් කරමින් මුදල් හා පෞද්ගලික තොරතුරු සූරාගැනීම මෙම වංචනිකයන්ගේ සිරිත වී ඇත.

මේ හේතුවෙන් මහජනතාව තමන්ගේ පෞද්ගලික සහ මූල්‍ය තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරයි. කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන ඇමතුම්, WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා හරහා ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක, CVV අංක, මුරපද (Passwords) හෝ OTP අංක කිසිවිටෙකත් ඉල්ලා නොසිටින අතර, එවැනි තොරතුරු ඉල්ලන සියලුම ඇමතුම් සහ පණිවිඩ වංචනික ඒවා බව සලකා කටයුතු කළ යුතුය. ගිණුම් අවදානමක පවතින බව හෝ නඩු පවරන බව පවසා බියගන්වමින් මුදල් ඉල්ලා සිටින බලපෑම්වලට හසු නොවන ලෙසත්, නොදන්නා ගිණුමකට මුදල් තැන්පත් කිරීමට පෙර අදාළ බැංකුවේ නිල දුරකථන අංකය අමතා සත්‍යතාව තහවුරු කරගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිවිටෙකත් පෞද්ගලික WhatsApp අංක හරහා විමර්ශන සිදු නොකරන අතර බැංකු ගිණුම් අංක ලබා දී මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා නොසිටින බවද පොලිසිය සිහිපත් කරයි. ඕනෑම නිල දැනුම්දීමක් ලිඛිත ලිපියක් මඟින් සිදු කෙරෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් සෘජුවම පැමිණෙනු ඇත

රාජ්‍ය ආයතනවල ලාංඡන සහ නිලධාරීන්ගේ ව්‍යාජ අත්සන් සහිතව සමාජ මාධ්‍ය හරහා ලැබෙන ලේඛන පිළිබඳව සැක සිතා වහාම ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කළ යුතු අතර, ඕනෑම සැකකටයුතු අවස්ථාවකදී අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවල ඇති දුරකථන අංක ඔස්සේ සත්‍යතාව පරීක්ෂා කරගත යුතුය. එමෙන්ම, නොදන්නා පුද්ගලයන් හෝ සමාජ මාධ්‍ය සමූහ (Groups) මඟින් එවනු ලබන අන්තර්ජාල සබැඳි (Links) සහ QR කේත (Scan Codes) භාවිතයෙන් වැළකී සිටීමද වැදගත් වේ.

ශ්‍රී ලංකා පොලිසිය කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය නොකරන බව ප්‍රකාශ කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය, මෙවැනි වංචනික පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳව තොරතුරු ඇත්නම් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධීක්ෂණ නිලධාරීන්ගේ 071-8592918 හෝ 071-8591765 යන අංකවලටත්, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ 011-2300756 අංකයටත් දැනුම් දෙන ලෙස මහජනතාවට දන්වා සිටියි. මීට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සෘජුවම පැමිණ ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කිරීමටද මහජනතාවට හැකියාව පවතී.

Previous Post Next Post