හිටපු ඇමති පුතුන් දහයකට ජම්පර ලෑස්තියි...


පසුගිය පාලන සමයන්හිදී තම පියවරුන් සතු වරප්‍රසාද සහ දේශපාලන බලය අයුතු ලෙස යොදාගනිමින් මූල්‍ය වංචා, දූෂණ මෙන්ම විවිධ නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත වූ බවට සැකකෙරෙන හිටපු අමාත්‍යවරුන්ගේ පුත්‍රයන් දස දෙනෙකු ඉලක්ක කරගනිමින් විශේෂ පරීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන විමර්ශන ආයතන කිහිපයක් ඒකාබද්ධව මෙම කටයුතු මෙහෙයවනු ලබයි.

මෙම ඇමති පුත්‍රයන් අතරින් කිහිපදෙනෙකුම සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට උසස් පොලිස් නිලධාරියෙකු තහවුරු කර ඇත.

 සැකකරුවන් අධිකරණය මඟහැර මෙරටින් පලායාම වැළැක්වීම සඳහා මේ වන විටත් අවශ්‍ය ආරක්ෂිත පියවර ගෙන තිබේ.

සාක්ෂි සහිතව අනාවරණය කරගත් විවිධ දූෂණ සහ සාපරාධී ක්‍රියා හේතුවෙන් හිටපු දේශපාලනඥයන්ගේ පුතුන් තිදෙනෙකු මේ වන විටත් පසුවන්නේ අත්අඩංගුවේය.

හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂ ද මෑතකදී අල්ලස් චෝදනාවක් මත මෙලෙස අත්අඩංගුවට පත් විය.

අදාළ වංචා සහ අක්‍රමිකතා සිදුකිරීම සඳහා ඇතැම් හිටපු අමාත්‍යවරුන් සිය පුතුන්ට නිල තනතුරු ලබාදෙමින් සෘජුවම අනුග්‍රහය දක්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මේ හේතුවෙන් එම දේශපාලනඥයන්ගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ.

මෙම ක්‍රියාවලිය ඇමති පුතුන්ට පමණක් සීමා නොවන අතර, විවිධ දූෂණ චෝදනාවලට ලක්ව සිටින හිටපු ඇමතිවරුන්ගේ සමීපතම ඥාතීන් රැසක් සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම වෙනමම විමර්ශන ආරම්භ කර ඇත. 

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සැකකාර පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය සාක්ෂි සහ ලේඛන පරිශීලනය කරමින් නීතිමය පදනම ශක්තිමත් කරගත් වහාම, ඉදිරි දිනවලදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

1 Comments

  1. එළම කිරි. දෙන්නෙක් ගැන තියෙන පොදු දේපළ අවභාවිතා සාක්ශි අපි ඉදිරිපත් කරපුවා. හොර රාජපක්ක මැක්කන් අතුගා දමන තුරු අපි සටනේ.

    ReplyDelete
Previous Post Next Post