හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත යුදමය ඉලක්ක වෙත එකිනෙකා ප්‍රහාර එල්ල කරගත් බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් යළිත් වරක් උත්සන්න වී තිබේ.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානයේ ගොරුක් ප්‍රදේශයේ සහ කේෂ්ම් දූපතේ පිහිටි ඉරාන රේඩාර් පද්ධති මෙන්ම ඩ්‍රෝන යානා මෙහෙයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් තමන් "ස්වයං ආරක්ෂාව උදෙසා" මෙම සති අන්තයේදී ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ මීට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඇමෙරිකානු හමුදා භාවිතා කරන ගුවන් කඳවුරක් වෙත තමන් ප්‍රහාර එල්ල කළ නමුත්, එම ස්ථානය පිළිබඳ තොරතුරු හෙළි කළ නොහැකි බවයි.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ පියාසර කරමින් තිබූ ඇමෙරිකානු MQ-1 වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් බිම හෙළීමට ඉරානය කටයුතු කිරීම ඇතුළු ඔවුන්ගේ දැඩි ආක්‍රමණශීලී ක්‍රියාකාරකම්වලට පිළිතුරු වශයෙන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ගුවන් ප්‍රහාර දියත් කළ බව ඇමෙරිකාව පවසයි. X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කළේ, කලාපීය මුහුදු සීමාවේ යාත්‍රා කරන නැව්වලට පැහැදිලි තර්ජනයක්ව පැවති ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, භූමි පාලන මධ්‍යස්ථානයක් සහ ඩ්‍රෝන යානා දෙකක් තම ප්‍රහාරක යානා මඟින් විනාශ කළ බවයි. මෙම ප්‍රහාරවලින් කිසිදු ඇමෙරිකානු සෙබළෙකුට තුවාල සිදුව නොමැත.
කෙසේ වෙතත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ ඉරාන දකුණු වෙරළ තීරයේ සිට සැතපුම් 40ක් (කිලෝමීටර් 65ක්) පමණ දුරින් පිහිටි සිරී දූපතේ සන්නිවේදන කුළුණකට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස, එම ප්‍රහාර සඳහා ඇමෙරිකාව භාවිතා කළ ගුවන් කඳවුරට තමන් පහර දුන් බවයි. ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ෆාර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇමෙරිකාව නැවතත් මෙවැනි ආක්‍රමණශීලී ක්‍රියාවක නිරත වුවහොත් ඉරානයේ ප්‍රතිචාරය "සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක්" ගනු ඇතැයි එරට හමුදාව අනතුරු අඟවා තිබේ.
මේ අතර, තමන් වෙත එල්ල වූ සතුරු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මඟහැරවීම සඳහා තම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව කුවේට් හමුදාව ප්‍රකාශ කළද, එම ප්‍රහාර එල්ල වූයේ කුමන ස්ථානයකටද යන්න නිශ්චිතව දක්වා නැත. ඉරාන බෝට්ටු සහ මිසයිල මඟින් මුහුදු මාර්ගයේ බිම් බෝම්බ වැපිරීම වැළැක්වීම සඳහා ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය පසුගිය සතියේදී ද කුවේටයේ පිහිටි ඇමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාර එල්ල කර තිබුණි.
පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට දෙපාර්ශවය අතර තත්කාලීන සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, නිල සාම ගිවිසුමකට එළැඹීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත. බී.බී.සී. පුවත් සේවයේ ඇමෙරිකානු මාධ්‍ය සගයා වන සී.බී.එස්. පුවත් සේවයට අනුව, නවතම සාම යෝජනාවලියට දින 60ක ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීම, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමේ රාමුවක් ඇතුළත් වී තිබුණි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම යෝජනාවලියේ පවතින කොන්දේසිවලට සංශෝධන කිහිපයක් ඉල්ලා ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම සංශෝධන ඉල්ලීම් ඉරානය විසින් "හුදු උපකල්පන පමණක්" යැයි පවසමින් ප්‍රතික්ෂේප කර ඇති අතර, සාම සාකච්ඡාවල සාර්ථකත්වයක් මෙතෙක් පෙන්නුම් කර නැත.
ලෝකයේ සමස්ත බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු ප්‍රවාහනයෙන් පහෙන් එකක් (1/5) පමණ සිදුවන්නේ මෙම පර්සියානු ගල්ෆ් මුහුදු කලාපය හරහා බැවින්, දැනට පවතින වෙළඳ සම්බාධක සහ මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
