යුකේ‍්‍රනයෙන් දරුණු ප‍්‍රහාරයක්.. ක‍්‍රිමියාව උග‍්‍ර මානුෂීය අර්බුදයක..


යුක්‍රේනය විසින් එල්ල කරන ලද අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් ක්‍රිමියා අර්ධද්වීපයේ සෙවාස්ටොපෝල් සහ සිම්ෆෙරොපෝල් යන නගරවල පිහිටි ප්‍රධාන විදුලි බලශක්ති මධ්‍යස්ථානවලට බරපතළ හානි සිදුව ඇති අතර, මේ හේතුවෙන් කලාපය තුළ දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ.

ප්‍රදේශයෙන් ලැබෙන වාර්තාවලට අනුව, ක්‍රිමියාව පුරා පවතින දැඩි විදුලි බිඳවැටීම් හේතුවෙන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් රැසක් අඩාල වී ඇත.

විදුලිය විසන්ධි වීම නිසා ප්‍රධාන ජල පොම්පාගාර ක්‍රියාවිරහිත වී ඇති අතර, සෙවාස්ටොපෝල් නුවර පදිංචි දසදහස් සංඛ්‍යාත ජනතාවකට නළ ජල පහසුකම් අහිමි වී තිබේ.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් ජංගම බ්‍රවුසර් රථ මගින් ජලය බෙදා හැරීම ආරම්භ කර ඇති අතර, විනාශ වූ යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටියි.

ජල අර්බුදයට අමතරව, කලාපය තුළ ඉන්ධන හිඟයද මේ වන විට උග්‍ර වී ඇත. පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති අතර, හමුදා සහ හදිසි ආපදා සේවාවන් සඳහා පමණක් එහිදී ප්‍රමුඛතාව ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය එරට වැසියන්ගේ මෙන්ම සංචාරකයන්ගේද දැඩි නොසන්සුන්තාවයට හේතු වී ඇත.

සමාජ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකට ක්‍රිමියා අර්ධද්වීපයෙන් පිටව යාමට පවා නොහැකි වී ඇති බවයි.

මෙම සැපයුම් බිඳවැටීම් තවදුරටත් පැවතුණහොත් ක්‍රිමියාවේ ඇතැම් ප්‍රදේශ සෙසු ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Previous Post Next Post