මරණ දඬුවම සහ ජීවිතාන්ත සිර දඬුවම් නියම සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීමට විධිමත් ක්‍රමවේදයක්...


බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින්  රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඇති කිරීම තුළින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභ සාධන කටයුතු විධිමත් කිරීමේ  අරමුණින් යුතු වැඩපිළිවෙළ යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය‍, නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාර තුන මුලික කර ගනිමින්  එම යාන්ත්‍රණය පිහිටුවීම සහ ඒ පිළිබඳව රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ  ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර මුලස්ථානයේදී පැවැත්විණි.

බන්ධනාගාර ආශ්‍රිතව හදිසි තත්වයක් ඇති වුවහොත් ක්ෂණිකව අදාළ ආයතනවලින් අවශ්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව අමාත්‍යතුමා විසින් නිලධාරීන් දැනුවත් කරන ලදී.

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන්, 14 වන පාබල බල සේනා නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජනරාල් අසිත පුෂ්පකුමාර, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, යන මහත්ම මහත්මීන් ගුවන් හමුදාව, නාවික හමුදාව, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ගිනි නීවිමේ හමුදාව, පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් බන්ධනාගාර තුළ ඇතිවන  ගැටළු  කලින් හඳුනා  ගැනීමේ ඒකාබද්ධ යාන්ත්‍රණ පිහිටුවීමේ සාකච්ඡාවට එක්ව සිටියහ.

කොළඹ රිමාන්ඩ්, නව මැගසින්  සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් කාන්තා සහ පිරිමි රැඳවියන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට (20) පස්වරුවේ අධිකරණ අමාත්‍යතුමා සහභාගි විය. 

මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය‍, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට  කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. 

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා,

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් ගරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. මාස දහයක් තුළ සිදු කරන ලද අධ්‍යනයකින් පසුව එම කමිටු වාර්තාව භාර දී තිබෙනවා. ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා අඩු කිරීමට සහ රැඳවියන්ට නිවාස නිවාඩු යාම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එම කමිටුව විසින් ලබා දී තිබෙනවා. 

මේ තුළින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස්ව යාමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව කරුණු අමාත්‍ය මණ්ඩලයට  ඉදිරිපත් කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කාන්තා සහ පිරිමි  රැඳවියන් හමු වු අමාත්‍යතුමා සඳහන් කළේ එම වාර්තා කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි.

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් බන්ධනාගාර කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

Previous Post Next Post