ඉරානයට එරෙහි ඇමරිකානු යුද මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව තමන් මේ වන විට තීරණය කරමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Fox News නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
"මගේ ප්‍රශ්නය නම්, මුළු රටම සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේ කවදාද සහ කෙසේද යන්නයි. ඔවුන් විනයගරුකව හැසිරිය යුතුයි," යනුවෙන් ප්‍රකාශ කර ඇති ට්‍රම්ප්, මෙම යුද්ධය තුළ ඉදිරියේදී ඉතා දැවැන්ත සිදුවීම් සිදුවනු ඇතැයි ද අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කිරීමට ඔහු කටයුතු කර නැත.
එමෙන්ම, මේ සතියේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් හමුවීමට තමන් විවෘත මනසකින් පසුවන බව ද ට්‍රම්ප් ‘ෆොක්ස් නිවුස්’ හමුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර සමඟින් ආරම්භ වූ මෙම ගැටුම අතරතුර ට්‍රම්ප් මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙවැනි දැඩි යුද තර්ජන එල්ල කර තිබිණි.
මේ අතර, ඇමරිකාවෙන් යම් හෙයකින් යළි ප්‍රහාරයක් එල්ල වුවහොත් කලාපයේ පිහිටි සියලුම ඇමරිකානු කඳවුරු සහ අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන හමුදා මධ්‍යම විධානය අනතුරු අඟවා තිබේ. කලාපයේ ඇමරිකානු මිත්‍ර රටවල් ද මෙම ගැටුමේ සෘජු පාර්ශ්වකරුවන් ලෙස සලකන බව පවසන ඉරානය, ඇමරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වීමට සූදානම් වන බවට තමන් සතුව බුද්ධි තොරතුරු ඇති බව ද කියා සිටියි. සතුරන් ආපසු හැරවීම සඳහා සටන් වැදීම මෙන්ම සිය ජයග්‍රහණ තහවුරු කරගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද අඛණ්ඩව කරගෙන යා යුතු බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් කලිබාෆ් ප්‍රකාශ කර ඇත.
දෙපාර්ශ්වය අතර මෙම යුද උණුසුම වර්ධනය වීමත් සමඟ ගල්ෆ් කලාපයේ ඇමරිකානු මිත්‍ර පාර්ශ්වයන්ට ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. ඉරාන සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයෙන් විශාල කළු දුමාරයක් අහසට නැගෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන රොයිටර් පුවත් සේවය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
රතු මුහුදු තීරයේ බලය තහවුරු කර ගැනීමත් සමඟ බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය පාලනය කිරීමට හූතිවරුන්ට හැකියාව ලැබී තිබේ. අනෙක් පසින් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වන නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ අවහිර කර ඇති හෙයින්, තෙල් සම්පතින් අනූන ගල්ෆ් කලාපයේ බලශක්ති අපනයනය ගෝලීය වෙළඳපොළට සැපයීම ඇණහිට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුළ ද ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 6.50 ඉක්මවා වාර්තාගත මට්ටමකට පැමිණ ඇති බව ‘AAA’ ආයතන වාර්තා පෙන්වා දෙයි.
ඇමරිකානු මධ්‍යම විධානය විසින් කොංග්‍රස් ජාතික ආරක්ෂක කමිටු වෙත ලබා දී ඇති වාර්තාවලට අනුව, සැප්තැම්බර් 03 වන දින වන විට මෙම යුද්ධය වෙනුවෙන් ඇමරිකානු හමුදාව වැය කර ඇති මුදල අවම වශයෙන් ඩොලර් බිලියන 43.6 කි.
කෙසේ වෙතත්, යූ.එස්.ඒ. ටුඩේ පුවත්පත වාර්තා කරන පරිදි, මෙම ඇස්තමේන්තුව සැබෑ අගයට වඩා බෙහෙවින් අඩු එකකි. ඉරාන ප්‍රහාර හමුවේ බහරේන්හි පිහිටි ඇමරිකානු නාවික සැපයුම් මධ්‍යස්ථානය ඇතුළු මැදපෙරදිග කඳවුරුවලට සිදුවූ දැවැන්ත භෞතික හානි පිළිසකර කිරීමේ වියදම් ඊට ඇතුළත් කර නොමැති බව එම පුවත්පත පෙන්වා දෙයි.
පෙන්ටගනයේ ගණන් බැලීම්වලට අනුව, යුද්ධයේදී භාවිත කළ බෝම්බ සහ ගුවන් ආරක්ෂක මිසයිල වෙනුවට නව අවි ආයුධ ලබා ගැනීමට පමණක් ඩොලර් බිලියන 28.1 ක් වැය වී තිබේ. මැදපෙරදිග කලාපයේ ඇදී යන මෙම යුද තත්ත්වය හේතුවෙන් අවි ආයුධ තොග ක්ෂය වීම, ඉන්දු-පැසිෆික් කලාපය වැනි අනෙකුත් ලෝක කලාපවලදී ඇමරිකාවේ ආරක්ෂාව අවදානමට ලක් කිරීමට හේතු විය හැකි බවට ද අනතුරු ඇඟවේ. ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා අවම වශයෙන් ඇමරිකානු සෙබළුන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 800 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
