ආණ්ඩුවේ වංචා, දූෂණ සහ අසාර්ථකත්වයන් යටපත් කරගැනීමට අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම වත්මන් පාලනයේ උපක්‍රමයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.
පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට භාර ගන්නා විට රුපියල් 283 ක්ව පැවති ඩීසල් ලීටරයක මිල අද වන විට රුපියල් 392 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය රුපියල් 400 ඉක්මවා 500 සීමාවට ගමන් කරමින් පවතින බවත්ය. උගන්ඩාවට ගුවන් යානාවලින් ඩොලර් බිලියන ගණන් පැටවූ බවට මහා මුසාවන් පවසමින් ජනතාව නොමඟ යවා බලය ලබාගත් පාලකයන් අද වන විට ජනතාව දැඩි පීඩාවකට ඇද දමා ඇති බවද ඔහු පැවසීය.
නඩු පැවරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම විපක්ෂයට පමණක් සීමා නොවිය යුතු බව අවධාරණය කළ ඩී.වී. චානක මහතා, ආණ්ඩුව වැරදි කරන විට ආණ්ඩුවට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වීම සැබෑ යුක්තිය බව පෙන්වා දුන්නේය. බාල ගල් අඟුරු ගෙන්වීමෙන් පමණක් රුපියල් බිලියන 50 ක, එනම් රුපියල් මිලියන පනස් දහසක මහා පරිමාණ පාඩුවක් රටට සිදුකර ඇති බවත්, එම වංචාවේ පාඩුව පියවා ගැනීම සඳහා සෑම නිවසකින්ම වැඩිපුර රුපියල් 8,500 බැගින් අය කරගැනීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම චෝදනා කළේය.
එසේම, අතීතයේදී නිදහස් කරගත් ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සම්බන්ධයෙන්ද අදහස් පළ කළ මන්ත්‍රීවරයා, එම කන්ටේනර් නිදහස් කරන සමයේ අදාළ විෂයභාර අමාත්‍යවරයා වූයේ අනුර කුමාර දිසානායක මහතා බවත්, ඒ තුළ තිබුණේ මොනවාදැයි අදටත් කිසිවෙකු නොදන්නා බවත් සඳහන් කළේය. මෑතකදී හසුවූ හෙරොයින් අඩංගු කන්ටේනරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පවා වහා මාරු කිරීමට කටයුතු කළේ පෙර කී කන්ටේනර් 323 තුළද තිබුණේ කුඩු දැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතුවීම වැළැක්වීමට බව හෙතෙම පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ මෙකී ගල් අඟුරු වංචාවන්, කන්ටේනර් 323 මගඩිය සහ ඩොලර් මිලියන 2.5 ක ගනුදෙනුව වැනි බරපතළ වංචා යටපත් කිරීමට අවශ්‍ය වන සෑම මොහොතකදීම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ආණ්ඩුවේ පුරුද්දක් බවට පත්ව ඇතැයි ඩී.වී. චානක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
"කීයද ඩීසල් ලීටරේ? 300? 392යි නේද? 392යි ඩීසල්. 400? 500ටම යනවා. හිතන්නකො 393යි කියලා.
අනුර කුමාර දිසානායක මහත්තයා මේ රට භාර ගනිද්දි ඩීසල් මිළ කීයද? ඒක මතක නැතුව ඇති. 283යි. අනුර කුමාර දිසානායක මහත්තයා භාර ගන්නකොට 200... කීයද? 283යි. දැන් එතකොට 392යි. එදා 283 තිබුණා ඇමතිට යන 150. නේද?
එතකොට දැන් අද කීයද මිළ? දැන් එතකොට කාටහරි 250ක් යන්න ඕන නේද අපේ හාමුදුරුවනේ? දැන් එදා ඇමතිට 150නම් අද 250ක් කාටහරි යන්න ඕන. එදා ලෝක වෙළඳපොළේ මිළටත් වැඩිය දැන් අද ලෝක වෙළඳපොළේ මිළ අඩු වෙලා.
දැන් අනුර කුමාර දිසානායක මහත්තයා ලෝක වෙළඳපොළේ තෙල් මිළ වැඩි වුණෙත් නැහැ එහෙන් එන්නත් කලින් මිළ වැඩි කරනවා. හැබැයි ලෝක වෙළඳපොළේ තෙල් මිළ අඩු වුණොත්, දන්නෙත් නැහැ.
මෙහෙම තමයි අපේ හාමුදුරුවනේ අපේ රටේ ජනතාව රැවට්ටුවේ. තෙල් මිළ ලෝකයෙන් ගේනවා, ලෝක වෙළඳපොළේ මිළ කියලා කිව්වේ නැහැ. ඇමතිට අච්චර මෙච්චර යනවා කියලා තමයි රැවට්ටුවේ. ඊටපස්සේ උගන්ඩාවට ඩොලර් බිලියන ගණන් ගෙනිච්චා, ප්ලේන් වල පටවන් ගියා කියලා තමයි ජනතාව රැවට්ටුවේ. කෝටි ගණන් වංචා කරා කියලා තමයි රටේ ජනතාව රැවට්ටුවේ.
හැබැයි එහෙම රවට්ටපු ආණ්ඩුව අද විශාල වශයෙන් දූෂණය, වංචාව කරගෙන යනවා. දැන් තියෙන නඩු ගැන කථා කරා. කොහොමද මේ නඩු දාලා තියෙන්නේ, ඒ වගේම මේ අධිකරණයට කරුණු වාර්තා කරන ඒ පොලීසිය පිළිබඳව අපේ නීතිඥතුමා පැහැදිලි කරා.
අපේ හාමුදුරුවනේ වැඩිපුර අවධානය යොමු කරන්නේ ආණ්ඩුවට නඩු වැටෙන්නේ නැත්තේ ඇයි කියන එක. දැන් නීතිය ස්වාධීනයි කියන්නේ විපක්ෂයට නඩු දාන එක නෙවෙයිනේ. යුක්තිය කියන්නේ විපක්ෂයටත් නඩු වැටෙන්න ඕන, ආණ්ඩුව වැරැද්දක් කරනවානම් ආණ්ඩුවටත් නඩු වැටෙන්න ඕන. එහෙම නැත්නම් විපක්ෂය වැරැද්දක් නොකර නඩු වැටෙන්නයි, ආණ්ඩුවේ වැරැද්දකට නඩු වැටෙන්නේ නැත්නම් එතන තියෙනවාද යුක්තියක්? එතන යුක්තියක් නැහැ.
දැන් මේ මෙතන ඉන්න සියලුම දෙනා, ගල්අඟුරු වංචාව ගැන දන්නවා නේද? ගල්අඟුරු වංචාව දන්නවා. හැබැයි ඒ ගල්අඟුරු වංචාව හින්දා ඔබතුමන්ලා කීයක් වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවාද කියලා කවුරුහරි මෙතන දන්නවාද? ගල්අඟුරු වංචාව හින්දා? කීයක් ගෙවන්න වෙනවාද?
අපේ ලංකාවේ ඉන්නවා ලක්ෂ 60ක්. ලක්ෂ 60ක් ගෙවල් වල විදුලිය පාවිච්චි කරනවා. දැනට ගණනය කරලා තියෙන ඒවයින් විතරක් ගල්අඟුරු වලින් පාඩු වෙලා තියෙනවා බිලියන 50ක්. එහෙම නැත්නම් කෝටි 5,000ක්. එහෙම නැත්නම් මිලියන 50,000ක්. ලංකාවේ මිලියන 6යි. ලක්ෂ 60යි ඉන්නේ විදුලිය පාවිච්චි කරන අය. එතකොට එක්කෙනෙක් කීයක් වැඩිපුර ගෙවන්න ඕනද?
හැම ගෙදරක්ම රුපියල් 8,500ක් වැඩිපුර ගෙවන්න ඕන කුමාර ජයකොඩි හින්දා. හැම කෙනෙක්ම රුපියල් 8,500ක් වැඩිපුර ගෙවන්න ඕන අනුර කුමාර දිසානායක හින්දා. හැම කෙනෙක්ම රුපියල් 8,500ක් වැඩිපුර ගෙවන්න ඕන මේ ආණ්ඩුවේ ගල්අඟුරු වංචාව හින්දා.
ලංකාවට ආපු ගල් අඟුරු නැව් 19ම ෆේල්. හැබැයි තියෙනවාද ඒකට නඩුවක්? තියෙනවාද ඒකට නඩුවක්? පැමිණිලි 13ක් දාලා තියෙනවා අල්ලස් කොමිෂන් එකට, අල්ලස් එකට. CID එකට පැමිණිලි දාලා තියෙනවා 10කට වැඩියි. කාවද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? කාටද නඩු දාලා තියෙන්නේ? අද වෙනකන් එක නඩුවක් නැහැ.
එතකොට ජයකොඩි ඉන්නේ නීතියට උඩින්. අනුර කුමාර දිසානායක ඉන්නේ නීතියට උඩින්. මාලිමාව ඉන්නේ නීතියට උඩින්. එතකොට කොහෙද යුක්තිය?
ඊටපස්සේ කන්ටේනර් සිද්ධිය. කන්ටේනර් 323ක් පැන්නුවා. අදටත් දන්නේ නැහැ කන්ටේනර් වල මොනවාද තිබුණේ කියලා. මත්ද්‍රව්‍යද? ආයුධද? එහෙම නැත්නම් නීත්‍යානුකූල නැති බෙහෙත්ද? මොනවාද තිබුණේ කියලා අද වෙනකන් දන්නේ නැහැ. එක්කෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවාද? අද වෙනකන් නැහැ.
දැන් ඊයේ පෙරේදා අපි දැක්කා කුඩු කන්ටේනර් එකක් අල්ලලා තිබුණා. අන්තිමට අල්ලපු මිනිහව මාරු කරනවා. ඒ DIG මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම ඇල්ලුවා කියලා මාරු කරනවා. මොකක්ද හේතුව? මේ කන්ටේනර් එක අල්ලපු දවසේ ඉදන් රටේ ජනතාවගේ ඔලුවේ වැඩ කරනවා අර 323 කොච්චර කුඩු තිබුණද කියලා. එකක කෝටි 80ක, මම හිතන්නේ කෝටි 800ක කුඩු තිබුණනම් අර 323 කොච්චර තියෙද කියලා රටේ ජනතාවගේ ඔලුවල වැඩ කරනවා. ඒක හින්දා අල්ලපු DIG මහත්තයාව මාරු කරනවා.
එතකොට මේ ආණ්ඩුවේ ඉන්නේ නීතියට යටින්ද? කන්ටේනර් 323 පන්නද්දි අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක. බිමල් රත්නායක මහත්තයාගේ නම කියවුණාට අනුර කුමාර දිසානායක මහත්තයා තමයි ඒකේ ඇමතිවරයා, කස්ටම් එක භාර. තියෙනවාද එතුමාට නඩුවක්? හැබැයි නඩු නැහැ.
ඊටපස්සේ ඩොලර් මිලියන 2.5ක් පැන්නුවා. කෝටි 80ක්. ලක්ෂ වලින් ගත්තොත් 8,000ක් පැන්නුවා. අද වෙනකන් එක්කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවාද? එක්කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවාද? අද වෙනකන් කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. අද වෙනකන් මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ සියලුම දෙනා ඉන්නේ නීතියට උඩින්.
ඒ සියලුම දෙනා ඉන්නවා නීතියට උඩින්. මේවා වහන්න ඕනනම් පාවිච්චි කරන්නේ කාවද? ජයකොඩිගේ හොරකම් ටික වහාගන්න, කන්ටේනර් පන්නපුවා වහාගන්න, ඩොලර් මිලියන 2.5 වහගන්න හැම අවස්ථාවකදීම රාජපක්ෂවරයෙක් අත්අඩංගුවට ගන්න.
මම ඔය ගල්අඟුරු වංචාව එළි කරලා දවස් දෙකයි ශෂීන්ද්‍ර රාජපක්ෂව අත්අඩංගුවට ගත්තා. ඊටපස්සේ ඔය කන්ටේනර් වංචාව අහුවෙච්ච වෙලාවේ ගත්තා ජොන්ස්ටන් ඇමතිතුමාව. ඩොලර් මිලියන 2.5 එනකොට තව කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. රට තුළ මාතෘකා ක්‍රියේට් කරන්න, ආණ්ඩුවේ හොරකම් වහන්න තමයි ඒවා පාවිච්චි කරන්නේ. අපේ සංජීව මැතිතුමා ඊටත් වඩා හොඳට නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ කොහොමද මේවා නීතිය පාවිච්චි කරන හැටි කිව්වා.
දැන් මම ඔබට සරලම භාෂාවෙන් කිව්වොත්, අපේ ගම්වල ක්‍රිකට් ටූර්නමන්ට් තියෙනවා නේද? තියෙනවාද නැද්ද? දැන් ක්‍රිකට් ටූර්නමන්ට් එකක දැන් මෙහෙ තෑගි එහෙම කීයක් විතර දෙනවාද කුසලාන දිනනකොට? කීයක් විතර දෙනවාද? අපේ පැත්තේනම් දැන් 50,000ත් ඉල්ලනවා. නේද? කුසලානට 50,000යි, අනුශූරතාවයට 25,000යි, තව එහෙම තෑගි දෙනවා.
හිතන්නකෝ දැන් ගමේ තියෙනවා මෙහේ බුලත්සිංහල ක්‍රිකට් ටූර්නමන්ට් එකක් තියෙනවා. දැන් මේ ක්‍රිකට් ටූර්නමන්ට් එකට අපේ සංජීව මහත්තයා, අපේ නීතිඥතුමා දෙනවා කුසලාන. රුපියල් 50,000ක්. ඒක දෙනවා අපේ උදාරට, නිවේදකතුමාට උදාරට දෙනවා ක්‍රිකට් ටූර්නමන්ට් එකක් කරන්න කියලා. දැන් එකපාරට තව කෙනෙක් ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා මේ ක්‍රිකට් ටූර්නමන්ට් එකේ, ටූර්නමන්ට් එකට දීපු සල්ලි කප්පමක් කියලා.
අපේ හාමුදුරුවනේ ඒක කප්පමක්නම් ඉස්සෙල්ලම අහන්න ඕන කාගෙන්ද?
ඉස්සෙල්ලම බලන්න ඕන මේක ටූර්නමන්ට් එකක් තිබුණද කියලා. නැත්නම් ටූර්නමන්ට් එක නොදැන සංජීව මහත්තයා ඒ 50,000 ගත්තනම් ප්‍රශ්නයක්නේ. එතකොට ඒ ටූර්නමන්ට් එක කරපු කෙනාගෙන් ඉස්සෙල්ලා ගිහින් ප්‍රශ්න කරන්න ඕන.
ඊටපස්සේ මොකක්ද? ඊළඟට සංජීව මහත්තයාගෙන් ඇවිත් අහන්න ඕන ඔබතුමා රුපියල් 50,000 දුන්නද කියලා. ඊටපස්සේ බලන්න ඕන ටූර්නමන්ට් එක දිනපු කෙනා, එයාට සල්ලි හම්බවුණාද කියලා. ඊටපස්සේ ඕනනම් ගමේ අයගෙනුත් අහන්න පුළුවන් මෙහෙම ටූර්නමන්ට් එකක් තිබුණද කියලා. ඒක නේද ක්‍රමවේදය වෙන්න ඕන?
මේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සිද්ධියත් ඒ වගේ එකක් තමයි. දැන් රගර් ටූර්නමන්ට් එකක් තිබිලා තියෙනවා. මේ ටූර්නමන්ට් එකකට සෘජුවම ඇවිල්ලා තියෙනවා ඒ තෑගි ලබාදෙන්න, ඒ වගේම ටූර්නමන්ට් එකේ වියදම සදහා යම්කිසි මුදලක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එතුමාගේ අතට නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ, ඒක සභාපතිවරයා ගාවට. ඒක ලැබිලා තියෙද්දී, දැන් ඒකේ ඊටපස්සේ ගිහිල්ලා පැමිණිල්ලක් දානවා වසන්ත, කවුද මේ වසන්ත? ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියලා පැමිණිල්ලක් දානවා මේකේ වංචාවක් වෙලා තියෙනවා කියලා.
එතකොට කවුද ඉස්සෙල්ලම ගෙන්නන්න ඕන? අර වගේ ඉස්සෙල්ලම ගෙන්නන්න ඕන රගර් ටූර්නමන්ට් එක, ඒක සංවිධානය කරපු කෙනා. දැන් අවුරුදු 12ක් වෙනවා තාම කටඋත්තරයක් අරගෙන නැහැ. මෙහෙම ටූර්නමන්ට් එකක් වුණාද නැද්ද කියලා අවුරුදු 12ක් වෙනවා තාම කටඋත්තරයක් අරගෙන නැහැ.
ඊටපස්සේ ගෙන්නන්න ඕන අර ඉන්දියාවේ ඒ සල්ලි දීපු කෙනා. ඊටපස්සේ එයාගෙන් අරගෙන තියෙනවා කටඋත්තරයක්. එයා කියනවා අපි බෝඩ් ඇපෲවල් අරගෙන හරි ක්‍රමවේදයට ඒ මුදල් ටික දීලා තියෙනවා. ඒ වගේම අපිට සතුටුයි ඒක ලස්සනට වැඩෙත් වෙලා තියෙනවා. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවාද? එතනත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
එතකොට ඒගොල්ලොන්ගෙන් දැන් ඒ කටඋත්තරය දුන්න ගමන්, දැන් ඉස්සෙල්ලා කිව්වේ සාක්ෂිකාරයා. දැන් එයාව සාක්ෂිකාරයා නෙවෙයි එයාවත් වැරදිකාරයා කරලා හරි නාමල් රාජපක්ෂ මහත්තයාව අත්අඩංගුවට ගන්න තමයි හදන්නේ. අරගෙන තියෙන්නේ අපේ සංජීව මහත්තයා වගේ කිව්වොත් විමර්ශන ඉවර නැහැ නැහැ ගගා හැමදාම තියාගෙන ඉන්නවා.
හැබැයි අද වෙනකොට, ඒක ටූර්නමන්ට් එක ලස්සනට වෙලා තියෙනවා, ඒකේ තෑගි ටික ලස්සනට දීලා තියෙනවා, හැමදේම වෙලා තියෙද්දී ඒ පැත්තකින් හිටපු නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේක තමයි මෙතුමන්ලාගේ අර යුක්තිය පසඳින ක්‍රමවේදය. දැන් හෙට අනිද්දා ඕනෑම කෙනෙකුට, ඕනෑම කෙනෙකුට ඇවිල්ලා තව කෙනෙක්ගේ නමක් කියලා අත්අඩංගුවට ගන්න පුළුවන්.
දැන් අපි දන්නවා ඩොලර් බිලියනය. දැන් ඔය අනුර කුමාර දිසානායක මහත්තයාගේ කාලේ ඩොලර් බිලියනයක් රටින් පන්නලා තියෙනවා. ඩොලර් බිලියනයක්! 2025 - 26. ලැජ්ජ නැතුව අනුර කුමාර දිසානායක මහත්තයා ඒක වේදිකාවෙත් කියනවා, අපි ඇල්ලුවාලු එයාව. ඇල්ලුවට ගෙනාවද සල්ලි ටික? නැහැ, ඩොලර් බිලියනය ගියා විතරයි ආවේ නැහැ.
හිතන්නකෝ දැන් ආණ්ඩුව මාරු වෙනවා. මාරු වෙනවානේ 2029 - 28 වෙද්දී. මාරු වෙච්ච ගමන් එයා කිව්වොත්, මේ ඩොලර් බිලියන ගල්අඟුරු වංචාවේ සල්ලි, කන්ටේනර් වංචාවේ සල්ලි, අර පන්නපු ඩොලර් මිලියන 2.5 තමයි මම අරගෙන ගියේ කියලා මොකද වෙන්නේ? පුළුවන්ද අපිට අනුර කුමාර දිසානායක මහත්තයා අත්අඩංගුවට ගන්න? පුළුවන්ද ඔය ඇමතිවරු අත්අඩංගුවට ගන්න?
දැන් නීතිය අනුවනම් පුළුවන් නේද සංජීව මහත්තයා? දැන් නීතිය අනුවනම් සල්ලි දුන්නද නැද්ද මුකුත් ඕන නැහැ, කවුරුහරි දූෂිතයෙක් අල්ල ගත්තා, එයාගෙන් නම කියව ගත්තා, එච්චරයි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් දිවුරුම් ප්‍රකාශ තියෙනවා, බලහත්කාරයෙන් නාමල් රාජපක්ෂ මහත්තයාගේ, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම කියන්න කියපුවා.
මෙහෙම තමයි නීතිය නවන්නේ. මේක තමයි මේගොල්ලෝ රාජ්‍ය බලය අල්ලනවා කියලා කරේ. ලංකාවේ ඉතිහාසයේ කවදාවත්, කවදාවත් පොලීසි වල ප්‍රධානීයන් පක්ෂ වේදිකාවෙන් පත් වුණේ නැහැ. පොලීසිය භාර ලේකම්වරු පක්ෂ වේදිකාවෙන් පත් වුණේ නැහැ. කවදාවත් නීතියට එහෙම, නීති අංශයේ හිටපු අය කොමිෂන් වලට පත් වුණේ නැහැ. මොකද නීතිය තමයි අන්තිමට අපිට යන්න තියෙන තැන.
හැබැයි අද වෙලා තියෙන්නේ පොලීසිය භාර ලේකම්වරයා මාලිමාවේ වේදිකාවේ. CID එකේ ප්‍රධානියා මාලිමාවේ වේදිකාවේ. මෙහේ හිටපු අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා කියනවා වගේම අල්ලස් කොමිෂන් එකේ එක්කෙනා, එතුමා කියන විදියට එතුමත් මාලිමාවේ නීති අංශයේ ඉදලා තියෙන්නේ.
පුළුවන්ද අපිට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න? එතකොට ඔබතුමන්ලා වෙනුවෙන් කථා කරන නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගන්න එක මේගොල්ලෝ කරනවා. මාලිමාවේ වේදිකාවේ හිටපු කෙනෙක්, ආණ්ඩුවට තියෙන ප්‍රබලම අභියෝගය, අනුර කුමාර දිසානායක මහත්තයාට තියෙන ප්‍රබලම අභියෝගය අනිවාර්යයෙන් අත්අඩංගුවට ගන්නවා.
ඒ වගේම ගල්අඟුරු වංචාව වහනවා. ඒ වගේම තමයි කන්ටේනර් වංචාව වහනවා. ඔය ඩොලර් බිලියනය පන්නපු එක අනිවාර්යයෙන් මේ ආණ්ඩුව වහනවා. ඒක තමයි මේ රාජ්‍ය බලය අල්ලනවා කියලා කරන්නේ. මේ රාජ්‍ය බලය අල්ලනවා කියන්නේ ඔබතුමන්ලාට ලැබෙන්න තියෙන යුක්තිය හකුලවන එක.
ඒ නිසා තමයි අපි කියන්නේ අපි ඔක්කොම දැන් පාරේ සටනට සූදානම් විය යුතුයි. අපි ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුවේ, මේ දූෂණ ටික, මේ ගෙනිච්ච ඩොලර් බිලියන ගේන්න ඕන ආපහු, නේද? මේ ආණ්ඩුවේ කාලේ පන්නපු ඩොලර් බිලියනය ආපහු ගේන්න ඕන. ඒ වගේම තමයි මේ කන්ටේනර් වංචාවේ මොකද වුණේ කියලා හොයන්න ඕන. ගල්අඟුරු වංචාවේ ඒ මුදල් ටික අපි ගන්න ඕන.
ඒ නිසා තමයි අපි ඔක්කොම එකතු වෙන්න ඕන. කඳවුරු බඳින්න ඕන වෙලාවක් තියෙන්නේ. ඒක හින්දා නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන අපේ සටන නවත්වන්න අපිට දෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, රටේ සමස්තයෙන් අපි සියලුම දෙනා එකතු වෙලා වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම අපේ රට, මේ රට ඉස්සෙල්ලා තියෙන්න ඕන. අපේ රට, කොයි වෙලාවකවත් මේ රට කඩාගෙන වැටිලා, රට වට්ටලා ජයග්‍රහණය ලබන්න බැහැ"
Allegations of Political Manipulation by the Rajapaksa Family Surface Amidst Rampant Corruption
In a pointed critique of the current government's tactics, D.V. Chanaka, a Member of Parliament from the Sri Lanka People's Front, claims that the arrest of a member of the Rajapaksa family has become a recurring strategy to distract the public from governmental scandals, corruption, and failures.
Speaking at a public gathering, Chanaka highlighted the dramatic increase in fuel prices since President Anura Kumara Dissanayake took office. He noted that when Dissanayake assumed control, the price of diesel was Rs. 283 per liter, and has since surged to Rs. 392, with forecasts suggesting it could surpass Rs. 500. He emphasized that the rulers, who once misled the populace about significant dollar transfers to Uganda, have now subjected citizens to severe economic strain.
Chanaka further insisted that the enforcement of laws and the imposition of legal charges should not be limited to the opposition. He argued that true justice necessitates holding the government accountable whenever it transgresses. He accused the administration of inflicting a monumental loss of Rs. 50 billion on the nation due to fraudulent coal imports, asserting that households are being unfairly charged an additional Rs. 8,500 to offset this deception.
Turning his attention to the controversial case of 323 containers that were previously released, Chanaka raised questions regarding the integrity of the then Minister Anura Kumara Dissanayake and the contents of those containers. He expressed concerns that a recent drug-related seizure might have been manipulated to divert attention from the unresolved issues surrounding the earlier containers.
The MP further noted that instances of corruption, such as the coal scandal, the 323 containers episode, and a transaction involving $2.5 million, seem to be consistently followed by the arrest of a Rajapaksa family member to re-direct public focus. He suggested that the government has cultivated a pattern where such arrests serve to obscure more substantial corruption issues.
“How much is diesel today? 392? It’s heading towards 500. Remember that when Anura Kumara Dissanayake took over, it was 283,” Chanaka stated, questioning the government’s rationale as prices fluctuate amidst declining global oil costs.
The MP pointed out that millions of Sri Lankans are now burdened with increased electricity bills due to the fraudulent coal dealings, with implications that those involved have yet to be held accountable for their actions. “Power users across the nation are more than 6 million, with household losses soaring to billions — that’s Rs. 8,500 per household,” he stressed.
Chanaka raised further concerns regarding the lack of accountability for the authorities in charge during these scams. He urged the public to question the transparency of legal actions and demanded the government be treated with the same scrutiny as the opposition. He stated, “If the law is not executed against the government for its wrongdoings, is there truly any justice?"
As allegations of corruption continue to surface, Chanaka underscored the necessity for accountability at all levels, emphasizing that both the government and opposition must face legal scrutiny. He called for unity among the populace to confront these prevailing issues and demanded that the status quo of impunity must end.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
