එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය
“අපේ
ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යයි ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා ඉල් මහ විරු සමරුවට සහභාගී වෙමින් ප්රකාශ කළේය. මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ “ඔටුනු පැළැඳි” පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳවද?
ජනාධිපතිවරයාගේ ඉහත ප්රකාශය
“36 වැනි ඉල් මහ විරු සමරුව අමතමින් අනුර කුමාර දිසානායක සහෝදරයා සිදුකළ
කතාව” මැයෙන් නිකුත් කළ නිල නිවේදනයට ඇතුළත් කර නොතිබිණ. එය හිතාමතාම කරන
ලද්දකි.
අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත්, ජනතාවගේ පරමාධිපත්යයත් ආරක්ෂා කරන බවටය. මෙරට දෙවැනි ජනරජ ව්යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුවය. ඊට ජනතාවගේ පරමාධිපත්ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක්ද ඇතුළත් කරනු ලැබිණ.
ශ්රී ලංකාවට නිදහස ලැබුණේ ඩොමේනියන් රාජ්යයක්
ලෙසය. එනම් එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජතුමා ලංකාවේ 6 වැනි ජෝර්ජ් රජු
හැටියට පාර්ලිමේන්තු නීතියක් මගින් පත්කර ගනු ලැබීය. එතුමාගේ අභාවයෙන් පසුව
1953 රාජකීය තනතුරු පනත (රෝයල් ටයිට්ල්ස් ඇක්ට්) හී දෙවැනි වගන්තිය යටතේ
දෙවැනි එලිසබෙත් රැජිණිය එකී තනතුරට පත් කර ගත්තාය.
එදා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් රැස්වූ ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව මගින් 1972 දී ජනරජය පිහිටුවා ගත්තේය. ජනරජ ව්යවස්ථාවේ පෙරවදනෙහි එය ජනතා පරමාධිපත්යයෙන් ඇතිවූවක් ලෙස පැහැදිලිවම සඳහන් කරයි.
එහි 12 වැනි වගන්තිය මගින් එලිසබෙත් රැජිණගේ “රැජිණ” තනතුර ඉවත් කරන ලදි. ඉන් පසුව ජනරජය ඇති කෙරිණි.
ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්රමය අහෝසි කර තනි පක්ෂ පාලනයකට ගොස් ජනරජ ව්යවස්ථාව ඉවත් කිරීමටද? නැවත “ඔටුන්න” ගෙනවිත් එය පළඳවා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේද? මෙසේ ක්රියාකරන්නේ වැඩි ඡන්ද ප්රමාණය හිමිවුවත් බහුතර ඡන්දයවත් නොලැබුණු පාලකයෙකු බව අමතක කළ නොහැකිය.
බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය වළ දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතුය.
2025 නොවැම්බර් 15
