ගම්පොල දාහක් මැරුණා කිවුවොත් නඩු දානවා..- ජනපති

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (17) පාර්ලිමේන්තුවේදී 2026 අයවැය තෙවන වර කියවීමට පිළිතුරු කතාව පවත්වමින්, රටේ වර්තමාන අවධානයට ලක්ව ඇති ගංවතුර ව්‍යසනය සහ ඒ වෙනුවෙන් රජය ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. 

මෙම ව්‍යසනය මෑත කාලයේ රට දුටු විශාලතම ව්‍යසනය බවත්, දිස්ත්‍රික්ක කිහිපයක් හැර අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලට එය බලපා ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම ව්‍යසනය නිසා විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව සිටින බවයි. අතුරුදන් වූවන්ගේ ඥාතීන් වසර ගණනාවක් තිස්සේ වේදනාවෙන් ජීවත් වන බවද ඔහු සංවේදීව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, කිසිදු ව්‍යසනයකදී උදුරාගත නොහැකි තරමේ ප්‍රබල ගුණාංගයක් වන "මනුස්සත්වය" ලාංකික ජනතාව තුළ ඇති බව මෙම අවස්ථාවේදී ඔප්පු වූ බව ජනාධිපතිවරයා කියා සිටියේය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ කුඩා දරුවන් පවා සහන සේවා සඳහා දායක වෙමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

ව්‍යසනයට මුහුණ දීම සඳහා සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවන බැවින්, මහජන ආරක්ෂක පනත යටතේ නියෝග පැනවීමට සිදු වූ බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ආපදා කළමනාකරණ පනත මෙවැනි අභියෝගයකට මුහුණ දීමට තරම් ශක්තිමත් නොවන බවට රජය තීරණය කළ බැවින්, වඩාත් ශක්තිමත් මහජන ආරක්ෂක පනත තෝරාගත් බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම නීති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ඔහු සහතික විය. මෙම නීති යොදා ගනු ලබන්නේ, ව්‍යසනයෙන් ගොඩඒමේ සැලසුම්වලට බාධා කරන හෝ සමාජය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරන පාර්ශ්වයන්ට එරෙහිව පමණි.

ව්‍යසනයට මුහුණ දීම සඳහා රජය විසින් වේගවත් මූල්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම් මත මිලියන 10,500ක් නිදහස් කර ඇති බවත්, ඉදිරි දින 25 සඳහා වියදම් කිරීමට බිලියන 72.2ක් අවශ්‍ය බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මේ සඳහා රජය බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන ලද ප්‍රධාන සහන යෝජනා:

1. නිවාස පිරිසිදු කිරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ:

  • හානියට පත් වූ සෑම නිවසක්ම පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබා දේ.
  • නැවත පදිංචියට අවශ්‍ය මුළුතැන්ගෙයි බඩු මුට්ටු මිලදී ගැනීම සඳහා නිවසකට රුපියල් 100,000ක දීමනාවක් ලබා දෙනු ඇත.

2. නිවාස හානි සඳහා වන්දි:

  • සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සඳහා නව නිවසක් ඉදිකිරීමට උපරිම රුපියල් ලක්ෂ 50ක දීමනාවක් පිරිනැමේ.
  • ඉඩම් අහිමි වූ හෝ අවදානම් කලාපවල සිටින අයට රජයෙන් ඉඩම් ලබා දෙන අතර, ඉඩම් මිලදී ගැනීම සඳහා තවත් උපරිම රුපියල් ලක්ෂ 50ක දීමනාවක් ලබා දෙනු ඇත.
  • අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා උපරිම රුපියල් ලක්ෂ 25ක් දක්වා කාණ්ඩ හතරක් යටතේ මුදල් වෙන් කර ඇත.

3. අවතැන්වූවන්ගේ සහන:

  • අවතැන් කඳවුරු වල නොසිටින, නිවාස අහිමි වූ පවුල් වෙත මාස තුනක් (දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි) සඳහා මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙනු ඇත.
  • පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට වඩා සිටී නම් මාසික දීමනාව රුපියල් 35,000 ක් වනු ඇත.

4. කෘෂිකාර්මික හානි:

  • වී වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක දීමනාවක් ලබා දෙන අතර, යළි වගා කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දේ.
  • එළවළු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් වෙන් කර ඇත.
  • ලියාපදිංචි කුකුළු හා සත්ව ගොවිපළවල් සඳහා නැවත පණගැන්වීම පිණිස රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දෙනු ලැබේ.

5. දරුවන් සහ ව්‍යාපාරික සහන:

  • ආපදාවට ලක් වූ සෑම පාසල් දරුවෙකුටම නැවත පාසල් යාම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් 15,000ක් සහ ජනාධිපති අරමුදලින් රුපියල් 10,000ක් ඇතුළුව මුළුමනින්ම රුපියල් 25,000ක දීමනාවක් හිමි වේ.
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා ලියාපදිංචි සෑම ව්‍යාපාරයකටම රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දෙනු ලැබේ.

රටේ ආර්ථිකය තවමත් බාහිර හෝ අභ්‍යන්තර කම්පනවලට ඔරොත්තු දිය නොහැකි සීරුවෙන් කළමනාකරණය කරන මට්ටමක පවතින බව ජනාධිපතිවරයා පිළිගත්තේය. කෙසේ වෙතත්, ආර්ථිකය නැගී එමින් තිබෙන බවට ඔහු සතුට පළ කළේය. 2025 වසරේදී 1977න් පසු අඩුම අයවැය හිඟය (4.5%) වාර්තා කිරීමට අපේක්ෂිත බවත්, ණය සීමාව ඉහළ නොදමා මෙම ව්‍යසන වියදම් කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ගිවිසුම් කඩ කිරීමට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, ණය වාරිකය වැඩි කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ ලැබීමට නියමිත ණය මුදල ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් තැබීමට ඔවුන් සමඟ එකඟ වූ බවද කියා සිටියේය. තවද, ක්ෂණික අවශ්‍යතා සඳහා ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 200ක ක්ෂණික සහනයක් ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, දේශපාලනික ගැටුම් අතහැර, ඉදිරි වසර තුන හතරක කාලය සඳහා ජාතික සභාවක් ලෙස ක්‍රියා කරමින්, ස්ථාවර සැලසුමක් යටතේ මෙම ව්‍යසනයෙන් රට ගොඩනැගීමට දායක වන ලෙසයි. ව්‍යසනයට මුහුණ දීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා ඇති බවත්, එය යටතේ මුදල් රැස් කිරීමේ කමිටු ඇතුළු ඒකක හතක් ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.

ව්‍යාජ තොරතුරු පතුරුවමින් සමාජය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, සාමාන්‍ය නීතිය මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට ප්‍රමාණවත් නොවන බැවින්, මහජන ආරක්ෂක පනත යටතේ නියෝග පැනවීමට සිදු වූ බවයි. කෙසේ වෙතත්, මෙම නීති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා කිසිසේත්ම භාවිතා නොකරන බවට ඔහු සහතික විය,.

ජනාධිපතිවරයා සඳහන් කළේ, තමාට හෝ අමාත්‍යවරුන්ට එල්ල කරන විවේචන හෝ අවලාද රජය සැලකිල්ලට නොගන්නා බවත්, ඒ සඳහා සාමාන්‍ය නීතිමය ක්‍රියාමාර්ග තිබෙන බවත්ය.

නමුත්, මෙම නීති උපයෝගී කරගන්නේ "ව්‍යසනයෙන් ගොඩඒමේ සැලැස්මට බාධාවක්" වන අයුරින් ක්‍රියා කරන පාර්ශ්වයන්ට එරෙහිව බව ඔහු පැහැදිලි කළේය.

 "එක මන්ත්‍රීවරයෙක් කිව්වා ගම්පල දහසක් මැරුණා කියලා එළියට ගිහිල්ලා කිව්වොත් නඩු දානවා" පැවසූ හෙතෙම සඳහන් කළේ, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී "ගම්පොළ දහසක් මැරුවා කියලා" කෑ ගසා කිව හැකි වුවත්, එයින් ගම්පොළ ප්‍රදේශයේ ජීවත් නොවන පුරවැසියන් තුළ විශාල ව්‍යාකූලත්වයක් හා කම්පනයක් ඇති කරන බවයි.

එවැනි ප්‍රකාශයන්, ගම්පොළ ආශ්‍රිතව සිටින මුස්ලිම් ප්‍රජාවට "අඩු සැලකිල්ලක්" ලැබී ඇතැයි යන සැකයක් ඇති කිරීමටද හේතු විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ, රට ගොඩනැගීම සඳහා "ඉතාමත් සාමකාමී ප්‍රවේශං සහගත මැදිහත්වීමක්" අවශ්‍ය බවත්, ව්‍යසනයෙන් ගොඩ ඒමේ ක්‍රියාමාර්ග "වියවුල් කරන්න" උත්සාහ කරන්නන්, ජනතාව බියවද්දන්නන් හෝ නොමඟ යවන්නන්, සහ සමාජය තුළ ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්නන් සඳහා මහජන ආරක්ෂක පනත යටතේ නීති උපයෝගී කරගන්නා බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව

විශේෂයෙන් අපි අද මුදල් අමාත්‍යාංශය පිළිබඳවත්, පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳවත්, මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීම පිළිබඳ රෙගුලාසි මෙම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙනවා. 

මේ සියලු කරුණු අතර අපට මුහුණ දීමට සිදු වූ ව්‍යසනය පිළිබඳ ප්‍රධාන අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. අපේ රට බොහෝ අවස්ථාවල මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දී තිබෙනවා. ඇතැම් විට වෙරළ තීරයන්ට ආසන්නව මේ ව්‍යසනය ඇති වූ විට කදුකරයේ ජීවත් වන ජනතාව සහ අනෙක් පළාත්වල ජනතාව ඒ පිළිබඳ කම්පනයට පත් වුණා. මධ්‍යම කදුකරයේ මේ ව්‍යසනය සිදු වූ විට අනෙක් පළාත්වල ජනතාව කම්පනයට පත් වුණා. හැබැයි මේ අවස්ථාවේ දිස්ත්‍රික්ක කිහිපයක් හැරුණු කොට අනෙක් සියලු දිස්ත්‍රික්කවලින් විශාල ප්‍රමාණයක් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා පුරවැසියන්, ජනතාව තමන්ගේ කම්පනය සඟවාගෙන මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා.

අපි දන්නවා මේ වෙලාවේ අප අතර ජීවත් විය යුතු පිරිසක් ඒ ව්‍යසනය නිසා අහිමි වී තිබෙනවා. මේ වෙලාවේ තමන්ගේ දරුවන් සහ ඥාතීන් සමග සමීපව ළෙන්ගතුව ජිවත් විය යුතු පිරිසක් අද අපිට අහිමි වී තිබෙනවා. ඒ වගේම, ඇතැම් ගම්මාන පිටින් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. ඇතැම් පවුල් පිටින් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා මේ ව්‍යසනය අපේ රටේ මෑත කාලයේ අපි දකින විශාලතම ව්‍යසනයයි. රටේ ජනතාවගේ හදවත් කම්පනයෙන් පිරී තිබෙනවා. ඔවුන්ගේ හැගීම් කදුළුවලින් ප්‍රකාශයට පත් කළ නොහැකි තරමේ වේදනාබර වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මිය ගොස් තිබෙන අතර, සිරුරු හමු වී තිබෙනවා. ඇතැම් පිරිසක් මිය ගොස් තිබෙනවා, හැබැයි  සිරුරු සොයාගත නොහැකි තරමේ අතුරුදන් වීමකට ලක් වී තිබෙනවා.

මිනිසුන් අහිමි වීම මිනිසුන් අතුරුදන් වීම පිළිබඳ අපේ සමාජයට කම්පනයක් සහිත ඉතිහාසයක් තිබෙනවා. යුද්ධවලින්, ස්වාභාවික ව්‍යසනවලින් මිනිසුන් අහිමි වූ අතුරුදන් වූ කම්පන සහිත ඉතිහාසයක් අපේ රට තුළ ලියැවී තිබෙනවා. කෙනෙකුගේ අහිමි වීම තමන්ගේ මිතුරන්ට තමන්ගේ ඥාතීන්ට කොපමණ කම්පනයක්ද කියලා අපි දන්නවා. අපි එය අත්දැකපු පිරිසක්. කෙනෙක් අතුරුදන් වූ පසු ඔවුන්ගේදෙමාපියන්, ඥාතීන් එය පිළිගැනීමට සූදානම් නැහැ. නැවත පැමිණෙයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා. වසර ගණනාවක් පුරා මේ අතුරුදන් වූවන් පිළිබඳ කම්පනයෙන් පුරවැසියන් ජීවත් වෙනවා. පෞද්ගලිකව ගත්තොත් මටත් එවැනි අත්දැකීමක් තිබෙනවා. 

අතුරුදන් වීම පවුලකට, ඥාතීන්ට, මිතුරන්ට මොන තරම්  කම්පනයක් ගෙනත් දෙනවාද? ඒ නිසා මේ මොහොතේ තමන්ගේ මිතුරන්, ඥාතීන් අහිමි වීමේ වේදනාව සහිතව කම්පනයෙන් ජීවත් වන පිරිසක් සිටිනවා. රටක් ලෙස අපි පළමුවෙන්ම ඒ සියලු දෙනාට අපේ සංවේගය ප්‍රකාශ කළ යුතුයි. 

මේ අහිමි වූ කිසිවකුගේ ජීවිත අපිට යළි ලබා දෙන්න බැහැ. එය තමයි ඛේදනීය යථාර්ථය. හැබැයි ආණ්ඩුවක් ලෙස පුරවැසියන් ලෙස අපිට වගකීමක් තිබෙනවා. අපේ අපේක්ෂාව විය යුත්තේ ජීවත්වන සියලු දෙනාට, තිබූ තත්ත්වයට වඩා හොඳ ගුණාංගවලින් පිරි රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. 

ඒ නිසා  අපේ රටේ ජනතාව යළි මෙවැනි ඉරණමකට ලක් නොවන අන්දමේ ක්‍රියාමාර්ග ගැනීමටත්, මීට වඩා හොද රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් උපරිම වෙහෙස මහන්සි වී කටයුතු කීරීමට අපි සූදානම්. එය අප වෙත පවරාගත් වගකීමක් සහ අත්හළ නොහැකි හෘදයාංගම බැඳීමක් බව මම සිතනවා. 

ඕනෑම ව්‍යසනයකදී දේපළ සහ මිනිස් ජීවිත උදුරාගත හැකියි. හැබැයි, මෙරට ජනතාව තුළ ඇති මනුෂ්‍යත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගන්න බැරි තරමේ ප්‍රබල ගුණාංගයක් බව මෙම ව්‍යසනයේදීත් අපිට ඔප්පු කර තිබෙනවා. ජනතාව ඔවුන්ට කළ හැකි පමණින් පරිත්‍යාග සිදු කරනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙම ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් අරමුදල් රැස් කරනවා. ලේ ඒකක 1500ක් අඩු බව ලේ බැංකුව දැනුම් දුන් විට ඒකක 20,000ක් ලබා දී තිබෙනවා. ඒ තමයි කුමන ව්‍යසනයකදී වුවද මකා දැමිය නොහැකි අපේ රටේ මනුෂ්‍යත්වය. 

ලෝක ඉතිහාසයේ බිද වැටුණු සෑම රාජ්‍යයක්ම ගොඩනැඟීමේදී ප්‍රධානතම කාර්යය බවට පත් වූයේ එම ජනතාවගේ අභිලාෂය සහ ධෛර්යයි. දෙවන ලෝක යුද්ධයේදී ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වන විට මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ පරිත්‍යාගය ලෝකයට සාමය කැටුව ආවා. 

දියුණුවේ හිණිපෙතට ගමන් කළ රටවල ආර්ථික මාවත, උපායමාර්ග වැදගත් වගේම ඒ ජනතාව තුළ තිබූ ධෛර්යවන්ත මැදිහත් වීම එහි ප්‍රධානතම සාධකය බවට පත් වුණා. ජපානය, චීනය නැගී  සිටියේ එලෙසයි. ජනතාවගේ විශ්වාසය සහ ධෛර්යය තමයි අපට මේ රට ගොඩනැඟීමට මඟපෙන්වීම ලබා දෙන්නේ කියා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මේ ව්‍යසනය ඇති වූ අවස්ථාවේ මේ ව්‍යසනයෙන් අපේ ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශාල වෙහෙසක් දරමින් කටයුතු කළා. 

කලාවැවේ බස් රථයේ 70කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ජිවිතය කොයි මොහොතේ අහිමි වෙයිද කියන කම්පනය සහිතව සිටියේ. ඇතැම් මන්ත්‍රීවරු නිවසේ සිට පැය දෙකයි, තුනයි කියලා ෆේස් බුක් සටහන් ලිව්වා. හැබැයි, ඒ වන විටත් අපේ නාවික හමුදාව එම ජනතාව බේරා ගැනීමේ විරෝධාර ක්‍රියාවේ නිරතව සිටියා. ඉතාම අසීරු වෙහෙසකර තත්ත්වයන් යටතේ මෙම සැඬ පහර පරාජය කර ඔවුන් වෙත පියමන් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම බස් රථයේ සිටි පිරිස වහළයක් මතට ගෙන ඒමට සමත් වුණා. ඉන්පසුව ඉතා කෙටි වේලාවකදී බස් රථය ගසාගෙන ගියා. එම අවස්ථාවේ නාවික හමුදාව ගමන් කළ බෝට්ටුවද ක්‍රියාවිරහිතභාවයට පත් වුණා. අවසානයේ ඒ බෝට්ටුවේ ගිය නාවික හමුදා නිලධාරීන්ටත් තම ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එම වහළය මත ජීවත් වීමට සිදු වුණා. 

පැය 18කට අධික කාලයක් 70කට ආසන්න පිරිසකට ඇස්බැස්ටෝස් වහළයක් මත මහා සැඬ පහරක් තුළ  ජීවත් වීමට ධෛර්යය  ලබා දුන්නේ එම නාවික හමුදා නිලධාරින් තිදෙනායි. ඉතාමත් දුෂ්කර ව්‍යායාමයකින් පසු පළමු වටයේදී සැඬ පහරට හසු වූ මුදාගැනීමේ කණ්ඩායම නැවත පැමිණියා. මම ස්තූතිවන්ත වෙනවා ඒ ගමේ තරුණයන් දෙදෙනෙක් ඒ පාර වෙනුවට වෙන පාරක් පෙන්නලා දුන්නා. ඒ පාරේ ගිහින් මේ 70 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනීමට ඔවුන් සමත් වුණා. එක් අයෙක් රෝහල්ගත වුණාට පසු මිය ගියා. එවැනි කාර්යක්ෂම ත්‍රිවිධ හමුදාවක් සහ පොලීසියක් අපිට ඉන්නවා. 

විතිකුලියේ ෆාම් එකේ කොටු වී සිටි කණ්ඩායම මුදා ගැනීමට ගිය බෝට්ටු දෙකම ක්‍රියාවිරහිත වුණා. අවසානයේ ඔවුන් මුදා ගැනීමට හැකි වුණේ පසු දා පාන්දරයි. නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාන දෙකක ජනතාව සිර වී සිටියා. අනුරාධපුර නගරයේ ගස් උඩ හිටියා. තවත් තැන්වල පොල් ගස්වල නැගලා ජීවිතේ බේරා ගන්න උත්සාහ කර තිබුණා. අපේ ගුවන් හමුදාවත් ඉතාමත් වික්‍රමාන්විත විරෝධාර ක්‍රියාවන් හරහා ඔවුන් මුදා ගැනීමට සමත් වුණා. 

ඊට පසු අපිට වාර්තා වෙනවා මාවිල්ආරු බැම්ම කඩා ගෙන යෑමේ අනතුරට මුහුණ දෙනවා කියලා. සේරුවාවිල අපේ හාමුදුරුවන් වහන්සේ මට කතා කළේ රාත්‍රී 12ට. ඒ වන විටත් අපේ දේශපාලන අධිකාරිය ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් තිබුණා. ඒ වෙලාවේ නැවත හමුදාව, පොලීසිය, ප්‍රගතිශීලී පුරවැසියන් මැදිහත් වෙලා දහස් ගණනක් සේරුවාවිල පන්සලට ගෙන ගියා.

මේ මුදාගැනීමේ මෙහෙයුමේදී ඉතාමත් නිර්භීත ගුවන් හමුදා නිලධාරියකු මිය ගියා. මොවුන් මිය යන මොහොතේදීත් අනෙකා පිළිබඳ කල්පනා කරමින් මිය ගිය මිනිසුන්. මේ වහසි බස් දොඩවන මිනිසුන්ගේ කතාවලට වඩා ඉතිහාසය ඔවුන්ගේ කතාවලින් ලියැවෙන බව මතක තබා ගත යුතුයි. 

ඒ වගේම චුන්ඩිකුලම් ප්‍රදේශයේ මෝයකට කැපීමේ ඉතාමත් වෙහෙස කර සහ බිහිසුණු කටයුත්තට ගිය නාවික හමුදාවේ නිලධාරීන් පස් දෙනෙක් සැඬපහරට හසු වී අතුරුදන් වුණා. විශාල වෙහෙසක් දැරුවත් තවමත් අපිට ඔවුන් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. 

ඒ වගේම, ධර්මදාස කියන පොලිස් නිලධාරියා රාජකාරිය නිමවා යද්දී මේ ව්‍යසනයෙන් මිය ගියා. ඔවුන් දිවා රෑ නොබලා සිය රාජකාරිය කරන්න වෙහෙස වුණා. සීගිරියේ පදිංචි විදුලිබල මණ්ඩලයේ සේවය කරන අනුරුද්ධ කුමාර මහතාට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිය යළි ස්ථාපිත කිරීමේ කටයුත්තේදී ජීවිතය දෙන්න සිදු වුණා. 

ඒ නිසා මේ ව්‍යසනයේදී ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ රාජ්‍ය සේවය නිදිවර්ජිත, ඉතාමත් වෙහෙසකර වූත් දුෂ්කර වූත් විශාල කාර්යභාරයක් ඉටු කළා.  ප්‍රාදේශීය ලේකම්වරයා කල්පනා කරනවා තමන්ගේ ප්‍රදේශයේ කිසිවකුට කරදරයක් නොවිය යුතුයි කියලා. ග්‍රාම සේවා නිලධාරී කල්පනා කරනවා තමන්ගේ වසමේ කාටවත් කරදරයක් සිදු නොවිය යුතුයි කියලා. දිස්ත්‍රික් ලේකම්තුමා කල්පනා කරනවා තම දිස්ත්‍රික්කයේ කිසිවකුට කරදරයක් නොවිය යුතුයි කියලා. 

එතරම් ව්‍යසනයකදීත් සීත කාමරවල හිටපු මහත්තුරු ලස්සනට ඇඳගෙන සුවඳ විලවුන් දා ගෙන ගිහින් දිසාපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා. රාජ්‍ය සේවය මේ ව්‍යසනයේදී සිදු කළ කාර්යභාරය පිළිබඳව බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි. ඒ අතරට සෞඛ්‍ය සේවය ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඉටු කරන ලද විශාල කාර්යභාරයටද බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතුයි. 

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අපේ රටේ කුමන හෝ ගැටලුකාරී තත්ත්වයකදී සෑම විටම විශාල කම්පනයකින් යුතුව මේ කාර්යයට මැදිහත් වුණා. ඒ පිළිබඳව අපි ස්තූතිවන්ත විය යුතුයි. 

අපට මුදාගැනීමේ මෙවලම්, යටිතල පහසුකම් තිබෙන්නේ ඉතා අඩුවෙන්. හැබැයි, අපගේ අසල්වැසි මිතුරු රාජ්‍යයන් ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය හෙලිකොප්ටර්, බෝට්ටු, විවිධ යන්ත්‍රෝපකරණ, පුහුණු භට පිරිස් සහ පුහුණු සෞඛ්‍ය සේවක කණ්ඩායම් අප වෙත එවා තිබෙනවා. ශ්‍රී ලංකාව මේ ව්‍යසනයෙන් බේරා ගැනීමට දක්වන සහාය වෙනුවෙන් ඒ සියලු විදෙස් මිතුරු රාජ්‍යයන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. 

අපි හදිසි නීතිය පැන වූවා. ව්‍යසන කළමනාකරණ පනත අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම්  ‘මුළු රටේම ව්‍යසන තත්ත්වයක් පවතින බව ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකිය“ එසේ නොමැති නම් මහජන ආරක්ෂක පනත යටතේ ක්‍රියාමාර්ග ගත හැකියි.  ව්‍යසන කළමනාකරණ සභාව වසර 7කට පසුව කැඳෙව්වේ පසුගිය අගෝස්තු මාසයේ 06 වෙනි දා. එදා සහභාගි නොවුණත් මේ ව්‍යසනයෙන් පසුව ඒ සභාව කැඳ වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා සහභාගි වූ බව මම කියන්න කැමතියි. මේ ව්‍යසන කළමනාකරණ පනත දුබල බව සහ එබැවින් එය සංශෝධනය කළ යුතු බව තමයි එදා අපේ තීරණය බවට පත් වුණේ. ව්‍යසන කළමනාකරණ පනත මෙවැනි අභියෝගයකට මුහුණ දීම සඳහා ශක්තිමත් පනතක් නොවෙයි.

‘ව්‍යසන කළමනාකරණ සැලැස්මක් පිළියෙල කිරීම සෑම අමාත්‍යාංශයකම, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකම සහ රාජ්‍ය සංස්ථාවක කාර්ය වන්නේය. ‘ නමුත් එහෙම සැලැස්මක් හදලා නැහැ. ඒ අනුව ව්‍යසන කළමනාකරණ පනත අනුව කටයුතු කරන එක මේ වෙලාවේ දුබලයි. මේ අවස්ථාවට මුහුණ දෙන්න ප්‍රමාණවත් නොවන බව අපි කල්පනා කළා. වඩාත් ශක්තිමත් වන්නේ මහජන ආරක්ෂාව පනතේ දෙවන අධිකාරිය යටතේ බලය ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා තමයි විපක්ෂය ඉල්ලා සිටියේ හදිසි නීතිය පනවන්න කියලා. ඒ නිසා අපි මහජන ආරක්ෂක පනත යටතේ තමයි මේ නියෝග පැනෙවුවේ. අද සම්මත කර දෙන ලෙස මා ඉල්ලන්නේ එයයි. 

මොකද මෙවැනි ව්‍යසනයකට මුහුණ දීම සඳහා සාමාන්‍ය නීතිය අපට ප්‍රමාණවත් නැහැ. මෙවැනි ව්‍යසනයකදී සාමාන්‍ය නීතියට වඩා උඩින් තිබෙන නීතියක් අපට අවශ්‍යයි. ඒ අනුව තමයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත් කිරීමට අපට හැකියාව තිබෙන්නේ. ඒ අනුව තමයි රටේ විවිධ ස්ථානවලින් තවත් ස්ථානවලට අවශ්‍ය උපකරණ හෝ නිලධාරීන් යොමු කරන්න හැකි වන්නේ. ඒ අනුව වඩාත් යෝග්‍ය පනත මහජන ආරක්ෂක පනත බව අප තීරණය කළා. ඊට විපක්ෂයෙන් ලැබුණු සහායට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. 

එහෙත් මේ මහජන ආරක්ෂක පනත අප කිසිසේත්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම සඳහා උපයෝගී කර ගන්නේ නෑ, මාව හෝ අපේ අමාත්‍යවරු විවේචනය කිරීම අපි ගනන් ගන්නේවත් නැහැ. අවලාද අදාළම නෑ. ඒවාට සාමාන්‍ය නීතිය තියෙනවා. හැබැයි ජනතාව බිය වැද්දීමට, නොමඟ යැවීමට සාමකාමී තත්ත්වය අවුල් කිරීම සඳහා ව්‍යසනකාරී ප්‍රජාව තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය මේ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා වන සැලැස්මට බාධාවක් නම් ඒ සඳහා පමණයි අපි මේ නීති උපයෝගී කර ගන්නේ. 

එක මන්ත්‍රීවරයෙක් කිව්වා ගම්පොල 1000ක් මැරුණා කියලා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මෙතන කිව්වට එළියට ගිහින් කිවුවොත් නඩු දානවා. එහෙම කියන්න බෑ. ගම්පොල වැඩි පිරිසක් මුස්ලිම් ප්‍රජාව ඉන්නේ. ඔවුන් හිතනවා ඔවුන්ට අඩු සැලකිල්ලක් තියෙන්නේ කියලා. ඒවාට නම් මේ නීතිය උපයෝගී කර ගන්නවා. මේ ව්‍යසනයෙන් ගොඩඒමට අපට අවශ්‍ය වන්නේ ඉතා සාමකාමී ප්‍රවේශම්කාරී මැදිහත් වීමක්. 

පාර්ලිමේන්තුවේදී විශාල ලෙස මතභේදයට තුඩු දුන්නා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් නිදහස් කරන්න පුළුවන්ද කියලා. රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඇති බව සමහරු කියන්න පටන් ගත්තා. රාජ්‍ය නිලධාරීන් බයයි කියන්න ගත්තා. මේවා බොරු. මේ ව්‍යායාමයේදී සද්භාවයෙන් මැදිහත් වූ සෑම නිලධාරියෙකුම ආරක්ෂා කරන්නේ අපි බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. 

අපි ලිහිල් කළ බලයක් දුන්නා. ලංකාවේ පළමු වතාවට ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 500ක් දක්වා වියදම් කිරීමේ බලයක් දුන්නා. දිස්ත්‍රික් ලේකම්වරයෙකුට ලක්ෂ 1000ක් දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ලක්ෂ 1000ක් දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. මොකද අපි මේ නිලධාරීන්ව විශ්වාස කරනවා. ඔවුන් අයථා ලෙස මේ ව්‍යසනයෙන් උපයා ගනියි කියා අපි සිතන්නේ නැහැ. අපි ඔවුන්ව ප්‍රබල ලෙස විශ්වාස කරනවා. හැබැයි පරණ දේශපාලන වළල්ලත් සමඟ එක් ව කළ විනාශයන් තිබෙනවා. ඒවාට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සිදු වෙයි. 

අප දන්නවා ගුවන් තොටුපොල, වරාය  වේගයෙන්  සක්‍රිය කර ගැනීමට අවශ්‍යතාව තිබුණා. එහෙත් ඒවායේ සේවකයින් එන්න බැරි නම් ? අපි ලේකම්වරයාට බලයක් දෙනවා ඔබට ඔබේ නිලධාරීන් ආසන්න හෝටලයක රඳවා ගැනීමට වියදම් දැරීමට. ඒ වගේම ග්‍රාම නිලධාරි මහතාටත් රුපියල් 50,000  දක්වා වියදම් කිරීමේ බලය දුන්නා. සාම්ප්‍රදායික චක්‍රලේඛ, නීති තිබිය යුතුයි. එහෙත් මෙවැනි ව්‍යසනයකදී ඒවායේ කොටු නොවිය යුතුයි කියා අපි එය නිදහස් කර දුන්නා. 

අපි දන්වා තවමත් පිරිසක් අවතැන් කඳවුරුවල ජීවත් වෙනවා. වාර්තාවන්ට අනුව පවුල් 55,747ක් පමණ අවතැන් වී තිබුණා. එයින් පවුල් 4000ක් පමණ නැවත ගොස් තිබෙනවා. නිවාස, විදුලිය සහ අනෙකුත් සන්නිවේදන මාර්ග සකස් කර ඔවුන්ට එතනට යන්න පුළුවන් වෙන වටපිටාව ඉතාම වේගයෙන් සකස් කිරීම තමයි අපේ උත්සාහය වී තිබෙන්නේ. අපි ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. 

නිවාස 5165ක් පූර්ණ හානි වී ඇති බවට වාර්තා වෙනවා. 57312ක් අර්ධ හානි බවට වාර්තා වෙනවා. ලක්ෂ 17කට ආසන්න ප්‍රමාණයක් මේ ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා. මෙය අපේ ආර්ථිකයට බොහෝ විට ඔරොත්තු නොදෙන තත්ත්වයක්. 

අපේ රටේ ආර්ථිකය තිබෙන්නේ හොඳම තැනක නොවන බව දන්නවා. එය බාහිරින් එන කුඩා කම්පනයකටවත් ඔරොත්තු දෙන්න බෑ. අභ්‍යන්තර කම්පනයකටත් ඔරොත්තු දෙන්න බෑ. අපි මේ ආර්ථිකය ඉතාමත් මැනවින් සීරුවෙන් කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යනවා. හැබැයි, වියරු මනසක් තිබෙන අය අපේ ආර්ථිකය ගැන කුරිරු බලාපොරොත්තුවකින් පසු වෙනවා. 

යුද්ධයක් ඇති විය හැකියි කියලා ආන්දෝලනයකට තුඩු දුන්නා ඔබට මතක ඇති. ඒ වෙලාවෙදීත් කුරිරු බලාපොරොත්තුවක් තිබුණා කොළඹට බෝම්බ දායි කියලා. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයක් වාර්තා වුණා. තෙල්මිල, ගෑස් මිල ඉහළ ගිහින් ආර්ථිකය කඩා වැටෙයි කියලා කුරිරු බලාපොරොත්තුවක් තිබුණා. එක්සත් ජනපදය විසින් ඔවුන්ගේම ප්‍රතිපත්තිවලට අනුරූප වන ලෙස බදු  ප්‍රතිශත තීරණය කළා. කර්මාන්ත කඩා වැටෙයි, අපනයන කඩා වැටෙයි, රැකියා නැති වෙයි, කියා කුරිරු බලාපොරොත්තුවක් තිබුණා. මේ ගංවතුරේදීත් පෙන්නුවේ ඒ කුරිරු බලාපොරොත්තුවම තමයි. 

එහෙත් සද්භාවයෙන් මේ අවස්ථාවේදී  අපට කතා කළ මන්ත්‍රීවරු ඉන්නවා. නමුත් ඒ අතරත් කුරිරු බලාපොරොත්තු සහිත වියරු මන්ත්‍රීවරු ඉන්න එක ගැන ලැජ්ජා විය යුතුයි. තමන් පාර්ලිමේන්තුවට එවන්න කතිරය ගහපු පුරවැසියන් ඉන්නවා නමුත් මන්ත්‍රීවරයාගේ අභිලාෂය මොකක්ද?එවැනි කුරිරු මනසකට අප ඉඩ දෙන්නේ නැහැ. 

මෙවැනි අභ්‍යන්තර ව්‍යසනයක් අපේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව අප දන්නවා. 1977 න් පසු, අවුරුදු 48කට පසු ලංකාවේ අඩුම අයවැය හිඟය වාර්තා කරන්නේ මේ 2025 වසරේදීයි. 2007න් පසුව ලංකාවේ වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කරනවා. 1977 අයවැය හිඟය 4.5යි. මේ අවුරුද්දේ අයවැය හිගය  4.5 දක්වා අඩු වෙනවා. අපි 6.8 ක් ඇස්තමේන්තු කර තිබුණා. අපි නැගිටිනවා. ආදායම් වැඩි වීම් පොලී අනුපාත දීර්ඝ කාලයක් තනි ඉලක්කමේ තියා ගන්න අපි සමත් වී තිබෙනවා. අපේ අපනයන ආදායම වර්ධනය වෙමින් තිබෙනවා. අපි නැගිටිමින් ඉන්නවා. 

අයවැය ලේඛනය සම්මත කලේ මාර්තු මාසයේ 21 වන දා. ඒ සමඟම පළාත් පාලන මැතිවරණය මාර්තු 26 ආවා. අපි වියදම් කරන්න පටන් ගන්නේ මැයි මාසයේ 06 වෙනි දා. අනෙක් සෑම අයවැය ලේඛනයකටම ජනවාරි 01 වෙනි දා සිට වියදම් කිරීමේ හැකියාව ලැබුණා. 

2021 නොවැම්බර් මාසය වන විට ප්‍රාග්ධන වියදම් 41.9% යි. 2022 දී 43.1%යි. 2023 දී 37.4%යි. 2024 දී 41.2%යි. 2025 දී 45.6%යි. ඒ අනුව 2021න් පසුව මැයි මාසෙන් ආරම්භ කර වැඩිම ප්‍රාග්ධන වියදම් කළ වර්ෂය බවට පත් වී තිබෙනවා. දෙසැම්බර් මාසයේ ගොඩක් බිල් පියවීමට නියමිතව තිබුණා. ඒ නිසා මෙය තව විශාල අගයකින් වැඩි වන බව මට විශ්වාසයි. 

අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කර තිබෙනවා. අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් තිබෙන කමිටුවෙන් 76000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. එයින් දොළොස් දහස් ගණනක්ම උපාධිධාරීන්. මේ අයුරින් නැගිටිමින් ඉන්න වෙලාවක තමයි අපට මේ ව්‍යසනයට මුහුණදීමට සිදු වුණේ.  එයින් අපට බලපෑමක් එල්ල කරමින් ඉන්නවා. 

අපි ඇති වෙනකම් බදු ගහලා තමයි මේ ආදායම් උපයා ගත්තේ කියලා සමහරු කිව්වා. නමුත් 2024 තිබූ බදු අඩු කරලායි තියෙන්නේ. 2025 සඳහා වාහන ආනයනය හැරුණු කොට වෙනත් අමතර බදු පනවා නැහැ. පැරණි ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2025දී 15.2%ක ආදායම් ඉලක්කයක් දී  තිබුණා. එය සපුරා ගැනීම සඳහා තිබූ බදු වලට අමතරව තවත් බදු යෝජනා වී තිබුණා. ඩිජිටල් සේවා බද්ද, දේපල බද්ද පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට තිබුණා. නමුත් 30%කින් පැනවීමට තීරණය කර තිබූ ඩිජිටල් සේවා බද්ද අප 15% දක්වා අඩු කළා. බදු පැනවීම ලබන අවුරුද්දේ අප්‍රේල් දක්වා කල් තැබූ නිසා 2025 වසරේ ක්‍රියාත්මක වුණේ නැහැ. දේපළ බද්ද ගැන කල්පනා කරන්නේ 2027දී කියලා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දීලා තියෙන්නේ. අලුත් බදු පැන වුයේ නෑ. තියෙන බදු ඉවත් කළා. අපේ ශක්තිය බවට පත්ව තිබුණේ ඉතාමත් හොඳ බදු කළමනාකරණයක් සිදු කර තිබීමයි. ඒ නිසා තමයි අප අපේක්ෂා කළ ආදායම් අභිබවා යන ආදායමක් ලබා ගත හැකිව තිබෙන්නේ. 

මේ ආකාරයෙන් ගොඩනැගෙමින් තිබෙද්දී තමයි අපට මේ ව්‍යසනයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. මේ ව්‍යසනයට පත් වූ ජනතාවට ඉවසන්න කියලා කියන්න අපට පුළුවන්ද? අපි එහෙම ආණ්ඩුවක් නෙවෙයි. අපිට බැහැ. ආර්ථිකයේ අර්බුදයක් තිබෙන වෙලාවකදී ආර්ථිකයට ගනු ලබන කුඩා හෝ වැරදි තීරණයක්  ආර්ථිකයට බරපතළ හානියක් කිරීමේ අනතුර තිබියදී පොඩි වැරැද්දක් පවා මේ ආර්ථිකයට බරපතළ හානියක් ගෙන දෙනවා. ඒ භයානක ප්‍රතිඵල තමයි 2022 රාජ්‍ය ආදායම 8.8%යි. ලංකා ඉතිහාසයේ අඩුම ආදායම බවට පත් වුණා. 

එබැවින් මේ කිසිම දෙයක් ආර්ථිකය අනතුරට හෙළා කම්පනය මත හැඟුම්බරව ගන්නා තීරණ නෙවෙයි. මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමඟ දින ගණනාවක් සාකච්ඡා කරලා ගත් තීරණයක්. මේ අයවැය ලේඛනය නතර කර අලුත් එකක් ගෙන ඒමට ඇතැම් අය උත්සාහ කළත් අපි එයට සූදානම් නැහැ. මේක නිකම් දත්ත එකතුවක් නෙවෙයි. මේ අයවැය සකස් කර තිබෙන්නේ යම් ආර්ථික උපාය මාර්ගයක් සම්පූර්ණ කර ගැනීමේ අරමුණින්. අපි අකුළන්නේ නෑ. අන්තර්කාල අයවැයක් ගේන්න කියනවා. ගේන්නේ නෑ. 

අපි මේ 2026 සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය අපේ රට තිරසාර ලෙස ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා සකස් කර තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක්. අපි ඒක නතර කරන්නේ නැහැ. හැබැයි ඒ අයවැය ලේඛනයේ සමහර කොටස් මේ ව්‍යසනය සඳහා යොදා ගැනීමට අපි අවධානය යොමු කරනවා. මාර්ග සංවර්ධනය ගතහොත් වෙන් කර ඇති මුදලින් බිලියන 40ක් මේ ආපදාවට ලක් වූ මාර්ග සංවර්ධනය සඳහා යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. පළාත් සභාවලටත් අපි උපදෙස් දී තිබෙනවා වෙන් කර ඇති මුදල්වලින් යම් ප්‍රමාණයක් මේ ආපදාවට ලක් වූ ප්‍රදේශවල මාර්ග සංවර්ධනය සඳහා යොදා ගන්න කියලා. ආර්ථික උපායමාර්ග සපුරා ගැනීම එලෙසින්ම තබා ගනිමින් යම් මුදල් ප්‍රමාණයක් මේ සඳහා යෙදවීමට අපි සැලසුම් කර තිබෙනවා. 

ඒ සියල්ල සමඟ මේ ජනතාව බලා ගත යුතුයි. එහි පළමු පියවර ලෙස අපි වියළි සලාකය සඳහා ලබා දෙන මුදල වැඩි කළා. ඒ වගේම, අද අපි රුපියල් බිලියන 50ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ බිලියන 50 සඳහා කිසිසේත්ම ණය සීමා වැඩි කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. දැනටමත් අපි වෙන් කර තිබෙන ප්‍රතිපාදන තිබෙනවා. ඒ අනුව බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. 

අපි මේ වන විටත් දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා තමන්ගේ ප්‍රදේශවල කුමන හෝ ගැටලුවක් තිබෙනවා නම් දැනුම් දෙන්න අපි මූදල් එවන්න සූදානම් කියලා. ඒ අනුව, මිලියන 10,500කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ලංකාවේ කිසි දිනක මෙලෙස සිදු වී නැහැ. 

අද අපි ඉල්ලනවා අපිට තව බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර දෙන්න කියලා. ඒ වගේ අපි ගාව බිලියන 22.2ක් තිබෙනවා. ඒ කියන්නේ බිලියන 72.2ක් ඉදිරි දින 25 තුළ වියදම් කිරීමට තිබෙනවා. අපි ඒ මුදල් වැය කරන්නේ මෙලෙසයි. 

හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට තම නිවාස නැවත පදිංචියට සුදුසු පරිදි ශුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රුපියල් 25,000ක මුදලක් ලබා දී තිබෙනවා. අපි සියලු දෙනාටම එම මුදල ලබා දෙනවා. මීට පෙර ලබා දුන්නේ 10,000යි. එයත් ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත. 

ඒ වගේම ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන් ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමණ ගෙවන රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. 

ඒ වගේම, අපි අපේක්ෂා කරනවා නාය යාම් නිසා අවතැන්ව, කඳවුරුවල සිටින නිවාස අහිමි පවුල් වෙත මාස 03ක කාලයක් නිවසකට යාම සඳහා රුපියල් 25,000ක් ලබා දීමට. මෙය මාස 06 දක්වා දීර්ඝ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. 

ඉන් පසුව ජීවනෝපාය මාර්ග සහ නිවාස අහිමි වූ දෙදෙනෙකුට වැඩිය සිටින පවුල්වලට දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස සඳහා කුලී නිවසක ජීවත්වීම සඳහා භේදයකින් තොරව රුපියල් 50,000ක මාසික දීමනාවක් ලබා දෙනවා. අඛණ්ඩව මාස 03ක් මෙය ලබා දෙනවා, ජීවනෝපාය මාර්ග සකස් කර ගැනීම සඳහා.

ඊළඟට ආපදාවෙන් බලපෑමට ලක් වූ වී, ධාන්‍ය වර්ග සහ බඩ ඉරිගු ආදිය සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000ක දීමනාවක් දෙනවා. අපේ අපේක්ෂාව වන්නේ මේ කුඹුරු යළි වගා කිරීමයි. ආසන්න වශයෙන් කුඹුරු හෙක්ටයාර 160,000ක් පමණ හානියට පත්ව තිබෙන බව වාර්තා වී තිබෙනවා. සාමාන්‍යයෙන් මීට පෙර මාසයකට වඩා අඩු ගොයමකට හෙක්ටයාරයකට රුපියල් 40,000යි ලබා දුන්නේ. අපී තීරණය කර තිබෙනවා මේ හෙක්ටයාර 160,000ම නැවත වගා කිරීමට. ඒ සදහා අවශ්‍ය බිත්තර වී, පොහොර ආදිය ගොවි ජනතාවට ලබා දෙනවා. 

ඒ වගේම මෙවැනි ව්‍යසනයකදී එළවළු වගාව ගැන කල්පනා කරන්නේ නැහැ. එළවළු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබා දෙනවා. මේ මුදල් වෙන් කිරීම අද සිට සිදු වෙනවා. හැබැයි අපේ අමාත්‍යාංශ නිලධරීන් සමත් විය යුතුයි මෙම වගා නැවත සිදු කිරීමට. අපේ අපේක්ෂාව වන්නේ මේ බිඳ වැටුණු ආර්ථිකය නැවත සූදානම් කිරීමයි. දෑත් කම්මුල් මත තබාගෙන අනේ අපොයි කියා නොසිට මේ රට බිඳවැටුණු තැනින් නැවත නඟා සිටුවීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා කෘෂිකර්මාන්තය ප්‍රමුඛයි. ඒ නිසා යළි වගා කරන ලෙස අපි ගොවි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ සඳහා ඔවුන් සූදානම් කරන්න කියා නිලධාරීන්ගෙන් ඉල්ලනවා. 

ආපදාවට ලක් වූ පශුවෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ඇති සෑම  සත්ත්ව පාලන ගොවිපොළක්ම නැවත ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 02 බැගින්, ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම කුඩා, මධ්‍යම, විශාල භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 02ක දීමනාවක් ලබා දෙනවා. 

අපි හූල්ල හූල්ල බලන් සිට වැඩක් නැහැ. අපි මේවාට යළි පණ  දිය යුතුයි. ඒ වගේම, අද මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කරනවා බැංකු මට්ටමින් යම් සහනයක් එම ව්‍යාපාරිකයන්ට ලබා දීමට. එමෙන්ම, අපි රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කරමින් රක්ෂණ වාරික ගෙවීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. 

ඒ වගේම, මේ 2026 අයවැය ලේඛනයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම සඳහා අපි මිලියන 80,000ක් වෙන් කර තිබෙනවා. එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයකින් මෙම බිඳවැටුණු කර්මාන්ත නඟා සිටුවීම සදහා ණය ආධාර ලබා දෙන ලෙස අපි උපදෙස් දී තිබෙනවා.එවිට අපිට යළි මේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට හැකියාව තිබෙනවා. 

ඒ වගේම ලියාපදිංචි වී තිබෙන ධීවර බෝට්ටු පූර්ණ ලෙස හානි වී තිබෙනවා නම් ඒ සෑම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 04ක දීමනාවක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. 

මේ අතර ආපදාවට ලක් වූ පාසල් සිසුන්ට අධ්‍යාපන උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 15,000ක දීමනාවක් භාණ්ඩාගාරයෙන් ලබා දීමටත්, ඊට අමතරව රුපියල් 10,000ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම දැනටමත් අපි අස්වැසුම ලබන පවුල්වල පාසල් ළමුන්ට රුපියල් 6,000ක දීමනාවක් ලබා දෙන අතර එම දීමනාවට මෙමගින් කිසිදු බලපෑමක් නැහැ. 

මේ අන්දමින් අපි ශක්තිමත්ව ව්‍යසනයකට මුහුණ දිය හැකි අන්දමෙන් සංචිත ශක්තිමත් කරගෙන තිබෙනවා. තිබෙන ආර්ථිකය අනුව අපි ජනතාවට මේ සහන ලබා දීමට සැලසුම් කර තිබෙනවා. 

ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානි පූර්ණ දීමනාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබා දෙනවා. ඉඩමක් නැත්නම් රජයෙන් ඉඩමක් ලබා දෙනවා. එසේ ඉඩම් ලබා දීමට ඉඩම් නොමැති නම් නිවස ඉදිකර ගැනීමට ලබා දෙන දීමනාවට අමතරව ඉඩමක් ලබා ගැනීමට ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. 

ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා උපරිමව රුපියල් ලක්ෂ 25ක් දක්වා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 10,15,20,25 යන ඛාණ්ඩ 04ක් යටතේ එම මුදල් ලබා දීමට කටයුතු කරනවා. 

ඒ වගේම ආපදාවෙන් සිදු වූ ජීවිත හානිවලට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. 

මේ දින 25ට ක්‍රියාත්මක කිරීමට බිලියන 72.2ක් තිබෙනවා. අද අපි 2026 අයවැය ලේඛනය සම්මත කළා. ජනවාරි මාසයේ සිට එය ක්‍රියාත්මක වෙනවා. එම අයවැය ලේඛනයට රුපියල් බිලියන 500කට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. 

අපි කවුරුත් දන්නවා අපි මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමය තුළ කටයුතු කරනවා. මෙම ගිවිසුම් ජාත්‍යන්තර නිර්ණායක මත ඇති කරගත් එකඟතාවන්. එම එකඟතාවන් වෙනස් කිරීමට සමාලෝචනයක් අවශ්‍යයි. දැන් අපි 5 වන සමාලෝචනය අවසන් කර නිලධාරී මට්ටමේ එකඟතාවට එළැඹ තිබෙනවා. එය එළැඹෙන 15 වන දා ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දීමට සැලසුම් කර තිබුණා. හැබැයි දැන් තත්ත්වය වෙනස්. අපි පෙර එළැඹි නිලධාරී මට්ටමේ එකඟතාවට වඩා වෙනසක් ඇති වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට යෝජනා කර තිබෙනවා මේ දෙසැම්බර් මාසයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් නොකර ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් තැබීමට. ඒ සඳහා අපි එකඟතාව පළ කර තිබෙනවා. දෙසැම්බර් මාසයේ අපිට ලැබීමට නියමිතව තිබුණේ ඩොලර් බිලියන 342ක වාරිකයක්. එම වාරිකය වැඩි කර ගැනීමට අපි සාකච්ඡා කරමින් තිබෙනවා. එම වාරිකය වැඩි කර ගැනීමට නම් අපිට සාකච්ඡාවක් සහ කාලයක් අවශ්‍යයි.  

හැබැයි ක්ෂණික ඩොලර් අවශ්‍යතාව මත අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 200ක සහනයක් ඉල්ලා තිබෙනවා. ඔවුන් ඒ සඳහා ඵලදායී ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැවත නගාසිටුවීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් අපි ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර තිබෙනවා. 

අපි මේ පරිපූරක ඇස්තමේන්තුව සකස් කර මිල තීරණය කර තිබෙනවා. හැබැයි එම ව්‍යාපෘති නම් කරගත යුතුයි. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. 19 වෙනි දා පාර්ලිමේන්තුවේදී එය සම්මත කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. විපක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ම ඊට සහයා ලබා දෙනු ඇතැයි මම සිතනවා. වෙන දා අයවැයෙන් පසුව ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව රැස් වුවත් මේ වසරේ දෙසැම්බර් මාසයේදී රැස් වෙන්න වෙයි. ජනවාරි 06 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට දැනට එකඟතාව පළ කර තිබෙනනවා. හදිසි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව කැදවීමට අග්‍රාමාත්‍යවරියට හැකියාව තිබෙනවා. ඒ අනුව 19 වන දා මා මේ කියන ලද පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. 

අපේ යටිතල පහසුකම්වල විශාල බිද වැටීමක් ඇති වී තිබෙනවා. මෙම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අපි මුදල් ප්‍රතිපාදන වෙන් කරගත යුතුයි. මෙම දෙසැම්බර් 31 වන දින පාලම් 30ක් ඉදිකර අවසන් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. අපි මේ මාර්ග පද්ධතිය අතර සම්බන්ධතාව යළි ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉතා විධිමත් සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ අනුව මේ බිඳ වැටී ඇති මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට අපිට හැකියාව තිබෙනවා.

ඒ වගේම විදුලිබලය 87%කට ආසන්න ප්‍රමාණයකින් නැවත ලබා දීමට අපි සමත් වී තිබෙනවා. මහියංගනය 132 වී සම්ප්‍රේෂණ පද්ධතිය බිද වැටීම හේතුවෙන් අම්පාර, මඩකළපුව, මහියංගණය ආදී ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණ සිට තිබෙනවා. එම විදුලි සැපයුම් යථාවත් කිරීම සඳහා එම කාර්යය මණ්ඩල වෙහෙසෙමින් කටයුතු කරනවා. ඒ වගේම සන්නිවේදන පද්ධතිය, ජලාපවාහන පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු වෙනවා. 

මේ අන්දමින් අපේ ප්‍රමුඛ අවශ්‍යතාව බවට පත්ව තිබෙන්නේ බිඳවැටුණු ජන ජීවිතය නගාසිටුවීමයි. ඒ වගේම ආර්ථිකය යළි ආරම්භ කළ යුතුයි. අපි රටක් පිළිබඳ වගකීමෙන් කටයුතු කරනවා. දිවා රෑ නොබලා සැලසුම් සකසමින් අපි මේ සඳහා වැඩ කරනවා. 

ඒ වගේම නැවත ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ අරමුදල් එක්රැස් කිරීම සඳහා කමිටුවක් හදනවා. 

මම දැක්කා මේ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා අරමුදල් වියදම් කිරීම ජාවාරම්කරුවන්ට දීලා කියලා. නැහැ. තවමත් මේ අරමුදලේ ගිණුම තිබෙන්නේ මහා භාණ්ඩාගර ලේකම්ගේ නමට. මුදල් බැර වෙන්නේ ඒකාබද්ධ අරමුදලට. මුදල් වියදම් කළ යුත්තේ පාර්ලිමේන්තුව මිස අරමුදල් එක් රැස් කිරීමේ කමිටුව නොවෙයි. 

හැබැයි අපි ව්‍යවස්ථාපිත අරමුදලක් හදනවා.  මුදල් කළමනාකරණ පනත අනුව සිතු සිතු ලෙස අරමුදල් හදන්න බැහැ. අරමුදලක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තු පනතක් අවශ්‍ය බවට අලුත් නීතියක් ආවා. එහෙම නීති ආවේ සුනාමි අරමුදලට වූ දේ දැකලා. ඉතිහාසයේ මේ රටේ අරමුදල් ඉතා අගතිගාමී ලෙස උපයෝගී වී තිබෙනවා. මම දැක්කා නීතිය පටහැනිව අරමුදල් හදලා කියලා කියනවා. එසේ සිදු වී නැහැ. අපි අරමුදල් එක් රැස් කර ගැනීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඇතැමුන් කුරිරු ආශාවක් වෙනුවෙන් මේ අරමුදල ගැන සැකයක් නිර්මාණය කරනවා. ජාවාරම්කරුවන් සිටින බව ප්‍රකාශ කරනවා. එහි අරමුණ මේ අරමුදල් ශක්තිමත් වෙනවට තිබෙන අකමැත්තයි. බලය පිළිබද නොනිමි ආශාවකින් ඔවුන් පෙළෙනවා. 

පුරවැසියන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තබා තිබෙනවා. ඒ නිසා බාහිර පුද්ගලයන් විශාල වශයෙන් මේ අරමුදලට දායක වෙනවා. ඒ විශ්වාසය මේ අරමුදල ශක්තිමත් කරනවා. 

ඒ නිසා මේ තත්ත්වයට මුහුණදීමට අපි ඉතා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරනවා. ඒ සඳහා අපි ජනාධිපති කාර්ය සාධක බලකායක් හදනවා. ඒ යටතේ ඒකක 07ක් ඇති කරනවා. එහි එක් ඒකකයක් වන්නේ අරමුදල් රැස් කිරීමයි. දෙවැනි ඒකකය යළි ගොඩනැගීමේ සැලසුම් සකස් කිරීම, තුන්වන කොටස වන්නේ ඉදිකිරීම් කටයුතු ඉතා හොඳින් මෙහෙය වීම සඳහා අනු කමිටුවක් පත් කිරීමයි. ඒ වගේම හොද සන්නිවේදන කමිටුවක් අවශ්‍යයි. ඒ වගේම නිවාස ගොඩනැගීම සඳහා තව ඒකකයක් හදනවා. මේ අන්දමින් ඒකක 07ක් නිර්මාණය කරනවා. මම ආරාධනා කරනවා මේ කටයුතු සඳහා එක් වෙන්න කියලා. 

අපි දන්නවා ජනාධිපති කාර්යසාධක බලකාය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.අපි ඉතා ඉක්මනින් විශේෂ විධිවිධාන පනතක් මේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරනවා.  මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අවම වශයෙන් වසර තුනක  අඛණ්ඩ සැලැස්මක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය විශේෂ විධිවිධාන පනතක් ගෙන ඒමට අපි සැලසුම් කර තිබෙනවා. 

ඒ වගේම අපිට ස්ථාවර සැලසුම් අවශ්‍යයි. මේ ස්ථාවර සැලසුම් සකස් කර ගැනීමේදී අපේ හෙලිකොප්ටර් බලඇණිය ඉතා වැදගත් වෙනවා. අපේ හෙලිකොප්ටර් වසර 07ක ආසන්න කාලයක් බිම නතර කරලා තිබෙනවා. ගත වන සෑම වසරක්ම අපිට හානියක්. එයින් MI 70 හෙලිකොප්ටර් 05ක ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. මේවා කලින් කරන්න තිබුණු දේවල්. අපි ඇවිල්ලා හෙලිකොප්ටර් 05ක ප්‍රසම්පාදන සඳහා දැනටමත් ටෙන්ඩර් ප්‍රදානය කර අවසන් කර තිබෙනවා. තව හෙලිකොප්ටර් 07ක් බිම තියෙනවා. එහි ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන අතර මාසයක් දෙකක් යන විට නැවත ප්‍රතිසංස්කරණ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකියි. එවිට හෙලිකොප්ටර් බලඇණිය තව 12කින් වැඩි වෙනවා. රටක් ව්‍යසනයකට මුහුණ දිය යුත්තේ එලෙසයි. 

අද අපිට අවශ්‍ය කුරිරු දේශපාලනයක් නොවෙයි. මෙය අත්හරින ලෙස අපි ආරාධනා කරනවා. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය තිබෙනවා. අපි යෝජනා කරන්නේ මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට වගේම මෙවැනි ව්‍යසනයක් නැවත ඇති වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අපි න්‍යාය පත්‍රයකට යා යුතුයි. 

ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සහ විපක්ෂය කියන එකෙන් අයින් වෙලා වසර තුනක්, හතරක් ජාතික සභාවක් ලෙස කටයුතු කරමු කියා මම ඉල්ලනවා. දේශපාලන ප්‍රශ්න දේශපාලන පොර පිටියේදී බේරා ගනිමු. මේ ව්‍යසනය හමුවේ වත් අපි පොදු න්‍යාය පත්‍රයකට එමින් රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරමු. ඒ නිසා පොදු ජනතාව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම මම ආරාධනා කරනවා ජාතික සභාවක් ලෙස කටයුතු කර ඉදිරි වසර තුන හතර තුළ මේ ප්‍රශ්නය තිරසාර ලෙස විසදා ගනිමු කියලා. ඒ වගේම ඒ සඳහා එක්වන ලෙස අපේ බුද්ධිමතුන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ සියලුදෙනාට අපි ආරාධනා කරනවා. මේ ව්‍යසනය ඉතා වේදනාකාරී ව්‍යසනයක්. එහෙත් ඒ ව්‍යසනය හමුවේ අපි අලුත් මාවතක් තෝරා ගනිමු. මේ රාජ්‍ය යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා මැදිහත් වෙමු කියා සියලු දෙනාට අරාධනා කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය

5 Comments

  1. පෝර්ට් සිටි එක හදන්න මුහුද පුරවන්න සීගිරිය කඩල ගල් ගෙනාවත් මදි කියල තියනවනම්, නඩු දානවා..........

    ReplyDelete
  2. Is that all you can do. Looks like it. We knew from the very start that you cannot and incapable of doing any bloody thing properly. Admit it, you messed it up no cover up can hide it, and people are not fools and they will remember give you the right treatment in the next election, at least focus your energy to help those desperate people in need for gods sake.

    ReplyDelete
  3. යකෝ කතාවෙ දිග. වැඩ බැරි හින්ද ලොකු හරයක් නැති කතාවක් කියනව. කයිතන්කි යන්නෙ නිකන්ද? කයිය විතරයි.

    මෙයා කියන කිසිම දෙයක වැලිවු එකක් නෑ. කයිතන්

    ReplyDelete
  4. මර්ධනය! මර්ධනය ! කථා කිරීමේ අයිතිය බය කිරීමෙන් පාලනය කිරීම. පව්

    ReplyDelete
Previous Post Next Post