කුණාටුවේ ලෝක ආධාර සමුළුව කැදවන දිනයක් තාම නෑ...


 සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දේපළ හා යටිතල පහසුකම් හානිය පිළිබඳ ලෝක බැංකු වාර්තාව නිකුත් කිරීමත් සමඟ, විපතට පත් වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට රජය තීරණය කර ඇත.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ඉහළ මට්ටමේ කමිටුව විසින් මේ සඳහා වන මූලික කටයුතු මේ වන විට අවසන් කරමින් සිටින බව රජය ප්‍රකාශ කරයි.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා කියා සිටියේ, මෙම ආධාර සමුළුව පවත්වන නිශ්චිත දිනයක් මෙතෙක් තීරණය කර නොමැති වුවද, ඒ සඳහා අවශ්‍ය කටයුතු අදාළ කමිටුව මඟින් කඩිනමින් සිදු කරමින් පවතින බවයි.

ලෝක බැංකුවේ වාර්තාවට අනුව, ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැගිලි, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පද්ධතියට සිදුවී ඇති සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ආපදාවට ලක්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ඉවත් කළ යුතු අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ වාර්තා කිහිපයක් දැනටමත් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය. අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක වේ.

Previous Post Next Post