නෙස්ලේ ලදරු ආහාරවල විෂ.. ලොව පුරා නිෂ්පාදන රැසක් ආපසු කැදවයි..


ආහාර විෂවීමක් ඇති කළ හැකි විෂ ද්‍රව්‍යයක් අඩංගු විය හැකි බවට පවතින සැකය මත, නෙස්ලේ සමාගම විසින් සිය ළදරු කිරිපිටි නිෂ්පාදන පෙළක නිශ්චිත කාණ්ඩ කිහිපයක් ලොව පුරා වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇත. අදාළ නිෂ්පාදන ළදරුවන්ට ලබා දීම ආරක්ෂිත නොවන බව සමාගම අවධාරණය කරයි.

නෙස්ලේ සමාගම පවසන පරිදි, අදාළ කිරිපිටි කාණ්ඩවල 'cereulide' නමැති විෂ ද්‍රව්‍යය අඩංගු වීමේ අවදානමක් පවතී. මෙය ශරීරගත වීමෙන් වමනය, ඔක්කාරය සහ උදරයේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. මෙම විෂ ද්‍රව්‍යය Bacillus cereus නමැති බැක්ටීරියා ප්‍රභේදය මගින් නිපදවනු ලබන්නකි.

විශේෂයෙන්ම, ආහාර පිසීමේදී, ජලය තැම්බීමේදී හෝ කිරි සකස් කරන අවස්ථාවේදී මෙම විෂ ද්‍රව්‍යය විනාශ නොවන බව බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති නියෝජිතායතනය අනතුරු අඟවයි.

මෙම ආපසු කැඳවීම යටතේ SMA ළදරු කිරිපිටි සහ පසු-අනුගමන කිරිපිටි, ප්‍රංශයේ අලෙවි කළ Guigoz සහ Nidal කිරිපිටි, ජර්මනියේ අලෙවි කළ Beba සහ Alfamino නිෂ්පාදන නිශ්චිත කාණ්ඩ ඇතුළත් වේ.

මෙම නිෂ්පාදන ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ඉතාලිය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපීය රටවල් රැසක මෙන්ම ලොව පුරා වෙළඳපොළට නිකුත් වී ඇත.

මෙම නිෂ්පාදන භාවිතයෙන් මෙතෙක් කිසිදු දරුවෙකු අසනීප වූ බවට වාර්තා වී නොමැති වුවද, පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව නෙස්ලේ සමාගම පවසයි.

සැපයුම්කරුවෙකුගෙන් ලැබුණු අමුද්‍රව්‍යයක පවතින දෝෂයක් මෙම ගැටලුවට හේතු වී ඇති අතර, බලපෑමට ලක් වූ නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ට මුදල් ආපසු ගෙවීමට ද සමාගම එකඟ වී ඇත.

දෙමාපියන් සහ දරුවන් රැකබලා ගන්නන් තමන් සන්තකයේ ඇති කිරිපිටි ටින් හෝ ඇසුරුම්වල පතුලෙහි සඳහන් කාණ්ඩ අංකය පරීක්ෂා කර බැලිය යුතුය. යම් හෙයකින් මෙම නිෂ්පාදන දරුවෙකුට ලබා දී ඇත්නම් සහ සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳ සැකයක් පවතී නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිති නියෝජිතායතනයේ නිලධාරිනී ජේන් රෝලින් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, මෙම ආපසු කැඳවීමට අදාළ නොවන සෙසු සියලුම නෙස්ලේ නිෂ්පාදන භාවිතය ආරක්ෂිත බව සමාගම වැඩිදුරටත් සහතික කරයි.

1 Comments

  1. Nestle කොහොමත් වස තමයි

    ReplyDelete
Previous Post Next Post