ශ‍්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි..- කොරියා ආණ්ඩුකාර

 


දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් "ආනයනය" කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.

 දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු  සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.

"අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් 'ආනයනය' කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?"

මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.

ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. 

2 Comments

  1. අපේ ගරුකටා නායක තුමාවත් යවමුද

    ReplyDelete
  2. Hummingbird Lady - AnuradhapurayaFebruary 7, 2026 at 2:11 AM

    රාජාංගනේ හාමුදුරුවො ලඟදී කිව්වා ආර්යාව තරුන කුල කාන්තාවක් කියල. බැරිවෙයිද දන්නෙ නෑ උන්දවත් කොරියාවට අපනයනය කරන්න.

    ReplyDelete
Previous Post Next Post