අකුරේගොඩ ද්විත්ව ඝාතනයෙන් ජාතික ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ..- පොලිසිය

 


අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය රටේ පොදු ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති කරන මට්ටමේ ගැටලුවක් නොවන බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා අවධාරණය කරයි. 

මෙම සිදුවීම කල්ලි දෙකක් අතර ගැටුමක් හෝ කිසියම් පෞද්ගලික හේතුවක් මත පදනම් වූවක් විය හැකි බවත්, ඒ පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ මහතා පවසයි.

සිද්ධිය සහ පොලිස් ප්‍රතිචාරය යුද හමුදා මූලස්ථානයට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අකුරේගොඩ මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇත. නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ සුඛෝපභෝගී රථයකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, සිද්ධිය වාර්තා වී විනාඩි 10ක් ඇතුළත පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ළඟා වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. 

සැකකරුවන් ලුහුබැඳීම සඳහා අවි සහිත නිලධාරීන් සහ යතුරුපැදි සංචාර වහාම ක්‍රියාත්මක කළ බවද හෙතෙම පැවසීය.

ව්‍යාජ අංක තහඩු සහ වාහනය ප්‍රහාරය සඳහා පැමිණි වාහනය පලා යන අවස්ථාවේදී එහි අංක තහඩුවක් මාර්ගයේ වැටී තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත. 

කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම අංක තහඩුව අදාළ වාහනයට නියමිත සැබෑ අංකය නොවන ව්‍යාජ එකක් බවයි. 

මහජනතාව ලබාදුන් තොරතුරු සහ වීඩියෝ දර්ශන ඔස්සේ සැකකටයුතු වාහනය හඳුනා ගැනීමට සහ එය ගමන් කළ මාර්ගය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

විමර්ශන ප්‍රගතිය මෙම සංවේදී සිදුවීම සම්බන්ධයෙන් දැනට විමර්ශන කණ්ඩායම් 12ක් ක්‍රියාත්මක වන අතර, ඉදිරි දින කිහිපය තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි. 

මීට අමතරව පසුගිය දිනවල කොළඹ සහ කළුතර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් ද සැලකිල්ලට ගත් විට, මේවා එකිනෙකට සම්බන්ධ සිදුවීම් නොවන බවත්, බොහෝ දුරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවන ගැටුම් මෙවැනි අපරාධවලට හේතු වී ඇති බවත් මැදවත්ත මහතා පෙන්වා දුන්නේය.

පොලිසියේ සූදානම අධි ආරක්ෂිත කලාපයක මෙවැනි සිදුවීමක් වීම පිළිබඳව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ, පොලිසිය විසින් මෙවැනි අපරාධ රැසක් වළක්වා ඇති බවයි. 

පසුගිය කාලය තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හරහා සමාජයේ සිදුවීමට තිබූ අපරාධ රැසක් වැළැක්වීමට පොලිසිය සමත් වූ බවත්, රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

1 Comments

  1. අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන පොලිසිය කියනවා 'ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ' කියලා. ඒත් අපිට පේන්නේ දවසකට වෙඩි තැබීම් සිදුවෙනවා, මිනිස්සු මිය යනවා කියන තත්ත්වයයි.
    මේවා 'isolated' හෝ 'underworld activities' කියලා හඳුන්වනවා වුණත්, ඒවා සිදුවෙන්නේ ආරක්ෂක පද්ධතියේ ලොකු loopholes (දුර්වලතා) නිසාම තමයි. High security zones වලදීත්, අධිකරණය ඇතුළේදීත් shootings සිදුවෙනවා නම් ඒක සමස්ත ආරක්ෂක ජාලයේ බිඳවැටීමක් නෙමෙයිද?
    පොලිසිය තුවක්කු 2400+ක් අල්ලගත්තත්, arrests කළත් තවමත් ඝාතන ඉහළයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාව (public safety) ගැන නිල ප්‍රකාශවල සැලකිලිමත් වෙන්නේ නැහැ. මේක ජාතික ආරක්ෂාවේ අර්බුදයක් නෙමෙයි කියලා කියන්න බැහැ — මොකද අපේ ආරක්ෂාව බිඳුණු තැනක තියෙනවා.
    ආණ්ඩුවට සහ පොලිසියට ඕනේ මේ loopholes හදන්න, intelligence-led policing ශක්තිමත් කරන්න, තුවක්කු පාලනය තදින් කරන්න. නැත්නම් 'ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ' කියන ප්‍රකාශ ජනතාවට සැනසීමක් නෙමෙයි — ඒක අපේ බිය වැඩි කරනවා විතරයි.

    ReplyDelete
Previous Post Next Post