බාල ගල් අගුරු හොදයි කියා සහතිකයක්.. දඩ අය කරන්නත් බැරිවෙයි..


මෙරටට ගෙන්වනු ලබන බාල ගල්අඟුරු හේතුවෙන් රජයට සෑම නැවකින්ම රුපියල් කෝටි 90ක පමණ අතිවිශාල පාඩුවක් සිදුවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

අදාළ ගල්අඟුරු දහනය කිරීමෙන් අපේක්ෂිත මෙගාවොට් 300ක විදුලි ධාරිතාව වෙනුවට ලැබෙන්නේ මෙගාවොට් 238ක් වැනි අඩු ධාරිතාවක් බවත්, මේ හරහා නැව් 25ක් මෙරටට පැමිණීමේදී සිදුවන මුළු පාඩුව ගණනය කළ නොහැකි තරම් විශාල බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් දඩ අය කර ගැනීම පිළිබඳවද මේ වන විට බරපතල ගැටලුවක් මතු වී ඇතැයි හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය. 

දැනට ලැබී ඇති තොරතුරු අනුව දඩ අය කරගෙන ඇත්තේ පළමු නැවෙන් පමණක් වන අතර සෙසු නැව් සඳහා දඩ අය කර ගැනීම නීත්‍යානුකූලව සිදු කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. 

එයට හේතුව වී ඇත්තේ, අදාළ ගල්අඟුරු නිසි පිරිවිතරයන්ට අනුකූල බවට ලංකා කෝල් සමාගම විසින් සහතික කර තිබීමයි. මේ හේතුවෙන් රාජ්‍යයට සිදුවන පාඩුව අය කර ගැනීමට ඇති නීතිමය ඉඩකඩ ඇහිරී ඇති බව රණවක මහතා අවධාරණය කරයි.

විදුලිබල මණ්ඩලය විසින් එළඹෙන අප්‍රේල් 01 වැනිදා සිට විදුලි ගාස්තු සියයට 5කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති බව රණවක මහතා පැවසීය. 

ගල්අඟුරු කිලෝවක සැබෑ මිල රුපියල් 30ක් පමණ වුවද, රජය එය රුපියල් 39 ත් 43 ත් අතර මිලකට ගණනය කරමින් පවතින පාඩුව මහජනයා මත පැටවීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි.

මෙම ගනුදෙනුව පිටුපස 'මේටයිඩන්' නමැති, ඉන්දියාවේ පවා දඬුවම් ලැබූ සහ මුදල් විශුද්ධිකරණයට ප්‍රසිද්ධ සමාගමක් සිටින බව රණවක මහතා ප්‍රකාශ කළේය., ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිදුකරන මෙම ගනුදෙනු හරහා අදාළ සමාගම අතිවිශාල අයුතු ලාභයක් ලබන බවද ඔහු පෙන්වා දෙයි.,

රාජ්‍ය අරමුදල්වලට සහ ලක්ෂ 75ක් වන විදුලි පාරිභෝගිකයන්ට සිදුකර ඇති මෙම අතිවිශාල හානිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතු බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. නිලධාරීන් මත වරද පටවා දේශපාලන අධිකාරිය නිදහස් වීමට දරන උත්සාහය පිළිගත නොහැකි බවත්, මෙයට වගකිව යුතු පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Previous Post Next Post