රිය අනතුරුවලින් පහක් මරුට..

 


ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. පයාගල, ගාල්ල, කටුගස්තොට සහ වාරියපොල යන පොලිස් වසම් තුළ මෙම අනතුරු සිදුව ඇත.

2026 පෙබරවාරි 22 වන දින උදෑසන පයාගල, මුණසිංහගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ කැබ් රථයක් ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ රියදුරු සහ එහි ගමන් ගත් අනෙක් දෙදෙනා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 සහ 28 පසුවන මහියංගනය සහ මොලගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. රියදුරු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ගාල්ල, දඩල්ල කනත්ත හරස් මාර්ගයේ නවතා තිබූ බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අද (22) අලුයම සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගිය තරුණයා ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෙබරවාරි 21 වන දින රාත්‍රියේ කටුගස්තොට, මඩවල මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් ත්‍රිරෝද රථයක සහ ජීප් රථයක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ. මෙහිදී යතුරුපැදිකරු ජීප් රථයට යටවීමෙන් බරපතල තුවාල ලබා කටුගස්තොට රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත. මියගොස් ඇත්තේ මඩවල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.

වාරියපොල - හලාවත මාර්ගයේ වැටිය වෙලවත්ත ප්‍රදේශයේදී ධාවනය වූ කාර් රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් අද (22) අලුයම තවත් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 60-65 අතර පසුවන තළෙළු පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. රතු පැහැති කමිසයකින් සහ දුඹුරු පැහැති සරමකින් සැරසී සිටි මෙම පුද්ගලයාගේ මෘත ශරීරය වාරියපොල රෝහලේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සියලු අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Previous Post Next Post