බාල ගල් අගුරු පාඩුව විදුලි බිලට...


ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතාවල බර සාමාන්‍ය වැසියන් මත පැටවීම වහාම නතර කරන ලෙස රජයට බල කරන බව ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ පවසයි. 

පාලකයන්ගේ අත්තනෝමතික තීරණ නිසා සිදු වූ මූල්‍ය අලාභය පියවා ගැනීමට ජනතාවගේ විදුලි බිල ඉහළ නැංවීම සදාචාරාත්මක නොවන බවත්, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් රටට හෙළි කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

බලශක්ති විෂය භාර අමාත්‍යවරයා තමන් අතින් සිදුවූ වැරදි සම්බන්ධයෙන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු අතර, පරිපාලනමය දුර්වලතාවල ප්‍රතිඵල මහජනතාව පිට පැටවීම වහාම නතර කළ යුතු යයිද ඔහු පැවසීය.

දැනට පවතින විවාදාත්මක ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටිය වහාම අවලංගු කර, විනිවිදභාවයකින් යුත් නව මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවත් බාල පෙළේ ගල් අඟුරු භාවිතය දිගින් දිගටම සිදු කිරීමෙන් බරපතළ බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් ඔහු කීවේය.

එළඹෙන අප්‍රේල් මාසය වන විට විදුලි ගාස්තු ඉහළ යාමේ දැඩි තර්ජනයක් පවතින බැවින්, පසුගිය පාලන සමයන්හි අත්විඳි අඳුරු යුගයකට යළි ගමන් නොකිරීම සඳහා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

1 Comments

  1. මුන් හොර කන් කරනවා ,ජනතාව ගෙවනවා

    ReplyDelete
Previous Post Next Post