ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය අඩාල වීම හේතුවෙන්, ඉදිරි සති දෙක තුන ඇතුළත ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල බැරලයක් ඇමරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවට කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි අනතුරු අඟවයි.
මෙම අර්බුදයත් සමඟ මැදපෙරදිග කලාපයේ තෙල් නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල වී ඇත. නිෂ්පාදනය කරන තෙල් අපනයනය කිරීමට නොහැකි වීම නිසා ගබඩා කිරීමේ පහසුකම් අවසන් වීම හේතුවෙන් කුවේටය සිය ඇතැම් තෙල් නිධිවල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කුවේට් බලධාරීන් පවසන්නේ සිය දේශීය අවශ්‍යතාවලට පමණක් සීමා වන පරිදි නිෂ්පාදන සහ පිරිපහදු කටයුතු තවදුරටත් අඩු කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ වත්මන් තත්ත්වය පිළිබඳ වාර්තා වන්නේ අතිශය බියකරු තොරතුරුය. සාමාන්‍යයෙන් දිනකට නෞකා 138ක් පමණ ගමන් ගන්නා මෙම මුහුදු සන්ධිය හරහා පසුගිය බ්‍රහස්පතින්දා වන විට ගමන් කර ඇත්තේ නෞකා දෙකක් පමණක් වන අතර, ඉන් එකක්වත් තෙල් නැව් නොවන බව හෙළි වී ඇත. රක්ෂණ සමාගම් විසින් යුද අවදානම් රක්ෂණාවරණ ඉවත් කර ගැනීම හේතුවෙන් තෙල් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබේ.
කටාර්හි රාජ්‍ය බලශක්ති සමාගම වන 'කටාර් එනර්ජි' දැනටමත් සිය ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය අත්හිටුවා ඇති අතර, අනෙකුත් මැදපෙරදිග අපනයනකරුවන් ද ඉදිරි දින කිහිපය තුළ සිය අපනයන නතර කිරීමට ඉඩ ඇති බව අමාත්‍ය අල්-කාබි ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ලෝක ආර්ථික වර්ධනයට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ද, යුද්ධය අද දින අවසන් වුවද බලශක්ති සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගතවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
