මැද පෙරදිග කලාපය තුළ දැඩි යුද වාතාවරණයක් පවතින පසුබිමක, කුවේට් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් තම ප්‍රහාරක යානා තුනක් විනාශ වී ඇති බව අමෙරිකානු මධ්‍යම විධානය නිල වශයෙන් තහවුරු කරයි.
අමෙරිකානු මධ්‍යම විධානය නිකුත් කළ නිවේදනයකට අනුව, මාර්තු 01 වනදා Operation Epic Fury මෙහෙයුමට සහය දක්වමින් පියාසර කරමින් තිබූ F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානා තුනක් මෙලෙස කුවේට් ගුවන් සීමාවේදී ‘මිත්‍ර පාර්ශවීය ප්‍රහාරයකට’ ලක්ව ඇත.
ඉරාන ගුවන් යානා, බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සක්‍රීය සටන් පවතින අවස්ථාවක, කුවේට් ගුවන් ආරක්ෂක ඒකක විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් මෙම ඇමරිකානු ගුවන් හමුදා යානා වැරදීමකින් බිම හෙළා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය සෙනසුරාදා උදෑසන සිට අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ පාලන තන්ත්‍රයට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ද ගල්ෆ් කලාපයේ රටවල් සහ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි.
මෙම අනතුරට ලක් වූ යානාවල සිටි ගුවන් නියමුවන් ඇතුළු හය දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව යානාවලින් ඉවත් වී ඇති අතර, මේ වන විට ඔවුන් ආරක්ෂිතව මුදාගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් සැමදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අමෙරිකානු බලධාරීහු පවසති.
"මෙම සිදුවීම සම්බන්ධයෙන් කුවේට් රජය සිය කනගාටුව පළ කර ඇති අතර, වත්මන් මෙහෙයුම් සඳහා කුවේට් ආරක්ෂක අංශ ලබා දෙන සහයෝගය අප අගය කරනවා." යනුවෙන් මධ්‍යම විධානය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති අතර, ඉදිරි තොරතුරු අනාවරණය වූ වහාම ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.
